දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ.
රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
“දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මේවා මේ බටහිර රටවල තියෙන සමහර මෝඩ නීති. ඒවා ඔක්කොම අපි අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. අපේ රටේ පිළිවෙතක් තියෙනවා. දරුවෙකුට අම්මයි තාත්තයි තමයි හැදියාව දෙන්න ඕන. ඒ නිසා දරුවෙකුට හරිගස්සන්න අම්මෙකුටයි තාත්තෙකුටයි අවස්ථාව තියෙන්න ඕන. ඒවා උසාවි ගෙනියන වැඩ නෙමේයි.
දරුවන් සහ මාපියන් අතර මේ ගට්ටනය ඇති කිරීම තුළින් මාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද කියළා ගුරුවරුන්ට හිතන්නවත් බැහැ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව ගුරුවරයාව අත්අඩංගුවට ගන්න වුනත් පුළුවන්ලු. මේවා අපිට පිළිගන්න බෑ.
බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා කියලා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා නොකළ යුතුයි.
(නිමල කොඩිතුවක්කු - lankadeepa)