තම පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ පළාත් පාලන මැතිවරණයේ සිට ම සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමින් ක්‍රියා කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ අද (12) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
මහ ජනයා රැවටුවොත් දේශපාලනඥයා අමාරුවෙ වැටේවි
''උදාහරණයක් විදිහට අපි දීර්ඝ කාලයක් තිස්සේ පළාත් පාලන මැතිවරණයේ සිට ම සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමින් ක්‍රියා කරමින් සිටිනවා. ඒ ක්‍රියාදාමය මේ වනවිට ඉතාමත් සාර්ථකව ඉදිරියට යනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ ක්‍රියාදාමය අපි හසුරවන්නේ මැතිවරණයකට මුහුණදීමට වඩා ඉතා පුළුල් වැඩසටහනක් සඳහා යි. මොකද මේ රට විවිධ අවස්ථාවල වැරදි පාරවල්වල ගමන් කර තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ ඡන්ද දායකයින්ව දිගින් දිගට ම බොරු කියමින් ඒවා ගැන බලාපොරොත්තු ලබා දෙමින් මහජනයා මුළා කර තිබෙනවා. ඒ නිසා තමයි ඉතිහාසයේ ඇතැම් තැන්වලදීත් මේ රටේ ආර්ථිකය නරක තැනකට ගමන් කරලා රට කඩන් වැටුණේ.
මින් ඉදිරියට මේ රටේ තිබෙන දේශපාලන පක්ෂවල විශේෂ වගකීමක් වෙනවා ඡන්ද දායකයින්ට ආර්ථිකය සම්බන්ධයෙන් වගේ ම වැරදි බලාපොරොත්තු පිළිබඳ දැනුවත් කරන්න. මෙවැනි තත්ත්වයක් තුළ ඇතැම් දේශපාලන පක්ෂ තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මහජනයා රවට්ටලා අමාරුවේ වැටෙන්න නම් එතැනදී දේශපාලනඥයට ආරක්ෂාව නැතිවෙන බව මතක තබා ගත යුතුව තිබෙනවා.
එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යෙව්දීන් ඇසු ප්‍රශ්න සඳහා වජිර අබේවර්ධන ලබාදුන් පිළිතුරු
රට ඉතාමත් භයානක තැනකට ගමන් කරනවා
ප්‍රශ්නය -
ඉදිරියේදී මේ රජය විසින් අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ ගැන ඔබේ පක්ෂයේ අදහස කුමක්ද?
පිළිතුර - '
'ඇත්තට ම ඔය ප්‍රශ්නය අහන්න ඕන ආණ්ඩුව පාර්ශවයෙන්. මොකද ඔවුන් තමයි අයවැය ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට පේනවා මේ ආණ්ඩුව බලයට ඒම සඳහා මහජනයාට ලබාදුන් පොරොන්දු ඉටු නොවෙමින් තිබෙන බව. ජනතාවගේ බලාපොරොත්තු සුන්වෙමින් තිබෙනවා. කොහොම නමුත් අපේ දේශපාලන පළපුරුද්ද හැටියට නම් අපිට පේන්නේ රට ඉතාමත් භයානක තැනකට ගමන් කරන බවයි.''