Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

නඩු ප්‍රමාදය වළක්වන්න අධිකරණ ශාලා 46කට වීඩියෝ තාක්ෂණය

නඩු ප්‍රමාදය වැළැක්වීමේ කඩිනම් පියවරක් ලෙස අධිකරණ තුළ වීඩියෝ ඇමැතුම් තාක්ෂණ කට්ටල සවි කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දිවයිනේ සියලුම මහෙස්ත්‍රාත් අධිකරණ සහ තෝරාගත් දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත වීඩියෝ ඇමැතුම් තාක්ෂණ කට්ටල 100ක් අධිකරණ අමාත්‍යාංශය මගින් ලබාදීමට නියමිතය.

නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ බන්ධනාගාරගත රැඳවූවන්, සාක්ෂිකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් දුරස්ථ ක්‍රමයට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි එම වීඩියෝ ඇමැතුම් තාක්ෂණ කට්ටල අධිකරණ තුළ සවි කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළට සමගාමීව Support to Justice Sector ව්‍යාපෘතිය යටතේ යුනිසෙෆ් (UNICEF) ආයතනය විසින් සියලුම මහාධිකරණ වෙත (අධිකරණ ශාලා 46ක් ආවරණය වන පරිදි) වීඩියෝ ඇමැතුම් තාක්ෂණ කට්ටල ලබාදීමට සැලසුම් කරමින් පවතින බව අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

මෙම වීඩියෝ ඇමැතුම් තාක්ෂණ කට්ටල අධිකරණ ශාලාවක ස්ථාපනය කළ යුතු ආකාරය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය මගින් දළ සටහනක්ද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

එම දළ සටහන අනුව අදාළ වීඩියෝ ඇමැතුම් තාක්ෂණ කට්ටල අධිකරණ ශාලාවන්හි ස්ථාපිත කිරීමට හැකිවන අයුරින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස්, සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් සහ රෙජිස්ට්‍රාර්වරුන් වෙත දැනුම් දී තිබේ.

(ඉෂාර රත්නකාර - aruna)