මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එනම් 2012 මැයි 11 වන දා අධිකරණ සේවා කොමිෂන් සභාවේ එවක ලේකම් මංජුල තිලකරත්න නිකුත් කළ චක්‍රලේඛය නැවත යාවත්කාලීන කර නිකුත් කරන ලෙස කොමිෂන් සභාව තමාට දැනුම් දී ඇති බව පෙන්වා දෙමින්, වර්තමාන ලේකම් ප්‍රසන්න අල්විස් පැරණි චක්‍රලේඛය යාවත්කාලීන කර නව චක්‍රලේඛය පසුගිය දා 9 වන දා නිකුත් කර ඇත.
ඒ අනුව, යාවත්කාලීන කළ චක්‍රලේඛය ඔස්සේ පෙන්වා දෙන්නේ, සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස ගියෝග කිරීම නොකළ යුතු බව ත් යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බව ත් ය.
ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාල සීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් යම් කටයුත්තක් සඳහා නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බව කියයි.
සැකකරුවන් හෝ සිරකරුවන් කවර හේතුවක් මත හෝ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ගියොත් ඒ සඳහා හේතු වූ කරුණු අදාළ බන්ධනාගාර අධිකාරී විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු බව චක්‍රලේඛය ඔස්සේ කියයි.
සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.