ආසියානු කුසලාන පාපන්දු: ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ටර්ක්මෙනිස්තානය පරදවයි
ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 10කට පසු ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානයට පත් වෙයි.
කොළඹ තුරඟ තරග පිටියේදී නිමාව දුටු ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී තුර්කිමෙනිස්තානය ගෝල් 1-0කින් පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිල මෙලෙස ලෝක පාපන්දු කණ්ඩායම් අතර වේගවත් ප්‍රගතියක් ලබා ගත්තේය.
ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 138 වැනි ස්ථානයේ සිටි තුර්කිමෙනිස්තානය, 197 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල වෙතින් ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලට පියවර 6ක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදා වුණි.
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමර් ලෝක පාපන්දු සම්මේලන ප්‍රධානී ගියානී ඉන්ෆැටිනෝ සමඟ අවසන් වරට වසර 2015 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානයේ සිටි අතර, වසර 2023 ජූනි මාසය වෙද්දී ලොව පාපන්දු ක්‍රීඩා කරන රටවල් 210කින් 207 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණි. ඒ වෙද්දී දකුණු ආසියාවේ සියලු රටවල් ශ්‍රී ලංකාවට වඩා පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ප්‍රගතියක් ලබා තිබිණි.
එහෙත් ශ්‍රී ලංකා පාපන්දු පිලේ වර්තමාන තත්ත්වය අනුව දකුණු ආසියාවේ පාකිස්තානය පසුකොට ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර, භූතානයට වඩා පියවර 5කින් පසුපසින් සිටී. බංග්ලාදේශය පසු කිරීමට තවත් පියවර 7ක අඩුවක් තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර් FIFA මූලික පදනම හා ආධුනික පාපන්දුවේ කමිටුවට
මේ අතර, ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමර් ලෝක පාපන්දු සම්මේලනය විසින් බිම් මට්ටමේ සහ ආධුනික පාපන්දු සංවර්ධන කමිටුවේ සාමාජිකත්වය පිරිනමා ඇත.
එම තනතුරට පත් ආසියාවේ එකම පාපන්දු ප්‍රධානියා උමර් වන අතර, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වේගවත් වර්ධනයක් අත්විඳිමින් සිටින අවස්ථාවක එය පිරිනැමීම විශේෂත්වයකි. ඔහුගේ උපායමාර්ගික සහ නිර්භීත ප්‍රවේශය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ වෘත්තීයභාවයට හා කාර්ය සාධනයට ඉවහල්ව ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී’ කාණ්ඩයේ තුර්කිමෙනිස්තානය, තායිලන්තය හා චීන තායිපේ යන කණ්ඩායම් අතුරින් පෙරමුණට පැමිණීමට සමත්ව සිටී.
කෙසේ වුවද ශ්‍රී ලංකාව හා තුර්කිමෙනිස්තානය අතර හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.15ට තුර්කිමෙනිස්තාන ආකාඩෑග් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගය කෙරෙහි විශාල අවධානයක් යොමුව පවතී. තුර්කිමෙනිස්තානය මේ කාණ්ඩයේ ශ්‍රී ලංකාවට හමුවන අවසන් අවස්ථාව මෙය වන හෙයින් මෙය තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.
ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී’ කාණ්ඩයේ තරග වටයේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට හෙට තුර්කිමෙනිස්තාන තරගයට අමතරව නොවැම්බර් 18 වැනිදා කොළඹදී තායිලන්තය හමුවන අතර, ලබන වසරේ මාර්තු 31 වැනිදා චීන තායිපේ කණ්ඩායම සමඟ තරගයට පිවිසේ. අවසානයේදී මේ රටවල් අතුරින් පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම 2027දී සවුදි අරාබියේදී පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.