ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දිනිය යුතුම තරගයක් අද

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දිනිය යුතුම තරගයක් අද

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (17 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් පමණක් හිමිකරගෙන ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් අද තරගය මෙන්ම ඉතිරි තරග යුගලය ද ජය ගැනීම අනිවාර්ය වේ.

අද තරගය යම් හෙයකින් පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථීර වශයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇත.

අද තරගය ජය ගනිමින් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කර ජයග්‍රාහී මානසිකත්වයක් ලබා ගැනීමට අද අවස්ථාව උදා වී ඇති නමුත් ඒ සඳහා කාලගුණයෙන් ද යම් බලපෑමක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩක් තිබූ නවසීලන්තය සමග තරගය ද වර්ෂාව හේතුවෙන් පසුගියදා අත් හැරීමට සිදු වූ අතර අද දිනයේද ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට වැසි ඇද හැලීමේ ඉඩක් ඇති බව කාලගුණ වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සහ ඉතිරි තරග 2ක ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු ගණන 8ක් දක්වා ඉහළ යන අතර ඒ ඔසසේ ලකුණු සටහනෙහි සිව්වැනි ස්ථානය හිමිකර ගැනීම සඳහා යම් අවස්ථාවක් පවතී.

මේ වන විටත් ප්‍රසාද ලකුණු 9ක් හිමි ඔස්ට්‍රේලියාව සහ ප්‍රසාද ලකුණු 7ක් හිමි එංගලන්තය පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටින අතර ප්‍රසාද ලකුණු 6ක් හිමි දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානයත්, ප්‍රසාද ලකුණු 4ක් හිමි ඉන්දියාවට සිව්වැනි ස්ථානයත් හිමි වී තිබේ.

 

slcricket

 

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම බංග්ලාදේශය සහ පාකිස්තානය සමග යෙදී ඇති අනෙක් තරග ද්විත්වය ජයගත්තද දකුණු අප්‍රිකාව, ඉන්දියාව මෙන්ම ප්‍රසාද ලකුණු 3ක් හිමි නවසීලන්තය යන කණ්ඩායම්වල ඉදිරි තරග ප්‍රතිඵල මත ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තුව රැඳී පවතී.

නවසීලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස නැවත පැමිණි විශ්මි ගුණරත්න සමගින් නායිකා චමරි අතපත්තු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ. එමෙන්ම පැවැති මැද පෙළ අස්ථාවරත්වයට පිළිතුරු සැපයීමට හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වීම මෙන්ම ශ්‍රී ලංකා වාර්තා අලුත් කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නිලක්ෂිකා සිල්වා ශ්‍රී ලංකා පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සමත්ව තිබේ.

කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමේ පැවැති දුර්වල පන්දු රැකීම දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් බලාපොරොත්තු විය නොහැකි අතර සිය අවසන් තරග 3ම හඹා ගොස් ජයග්‍රහණය කර සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පරාජය කිරීමට නම් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සිදුවනු ඇත.

 


(aruna)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න