Online ක්ෂණික ණය දෙන සේවාවලට අහුවෙන්න එපා - පොලිසිය දන්වයි

Online ක්ෂණික ණය දෙන සේවාවලට අහුවෙන්න එපා - පොලිසිය දන්වයි

කිසිඳු ඇපයකින් තොරව ක්ෂණිකව ණය ලබා දෙන බවට අන්තර්ජාලය සහ ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ ප්‍රචාරය වන ආකර්ෂණීය දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි. මෙවැනි ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන ආකාරය ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇති අතර, ඇතැම් විට දුරකථන ඇමතුම් ලබා දෙමින් පවා, ණය ලබා ගැනීමට පුද්ගලයින් පොළඹවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.



මෙම ණය යෝජනා ක්‍රමවලට හසුවන බොහෝ දෙනෙකු, ණය ලබා ගැනීමේදී අදාළ පොලී අනුපාතයන් හෝ ණය ආපසු ගෙවීමේ කාලසීමාවන් පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගැනීම නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. ණය මුදල ලබා ගැනීමෙන් අනතුරුව, අනපේක්ෂිත ලෙස ඉහළ පොලී මුදලක් ගෙවීමට සිදුවීමෙන් ණය ගැතියන් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා බහුලව වාර්තා වේ.


එමෙන්ම, ණය මුදල් නැවත අය කර ගැනීමේදී මෙම ආයතන විසින් ණය ලබා ගත් පුද්ගලයින් පීඩාවට පත් කරමින් නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබා දෙන බවටත්, ඔවුන්ව අපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රචාරයන් ගෙන යන බවටත් ශ්‍රී ලංකා පොලිසිය වෙත දිනපතා පැමිණිලි ගලා එමින් පවතී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදී තහවුරු වී ඇත්තේ, මෙලෙස ක්‍රියාත්මක වන බොහෝ ආයතන මහ බැංකුවේ නියාමනයට ලක් නොවූ ආයතන බවයි. එමෙන්ම, මෙවැනි ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් සිටින බවද මහ බැංකුව වැඩිදුරටත් පොලිසිය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, මහජනතාව තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේදී සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින පිළිගත් මූල්‍ය ආයතන සමඟ පමණක් ගනුදෙනු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් ඉල්ලා සිටියි.

police

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.