මීට සුළු මොහෙතකට පෙර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත්, ඔහුගේ රාජකාරිය ඉටු කරන විට සිදු කරන ලද මේ වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මේ සභාපතිවරයා යනු මහජන නියෝජිතයකු බවත් මහජන නියෝජිතයන්ට පවා මහජන දිනය පවත්වාගෙන යන්න බැරි නම් එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
සමගි ජනබලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අද (ඔක්තෝම්බර් 22 වැනිදා) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ප්‍රාදේශීය සභාව තුළට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ලසන්ත වික්‍රමසේකර යනු කවුද?
ලසන්ත වික්‍රමසේකර පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ පසුගිය මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් තරග කරමිනි.
පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි කර නොගැනීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ලද විවෘත ඡන්ද විමසීමකින් ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.
ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අවස්ථාවේදී, ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත්තේය.
සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයේ (NPP) සභිකයාට ලැබී තිබුණේ ඡන්ද 22ක් පමණි.
විපක්ෂයේ සභික පූජ්‍ය දෙනගම රාහුල හිමි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය විවිධ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාද විය.
සමාජ මාධ්‍ය හරහා බරපතල විරෝධයක්
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබේ.
ඒ අතරින් achin Rathwatte සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
සභාවක් තුලම, මහජන ඡන්දයෙන් පත් වූ ප්‍රාදේශීය සභාපතිවරයෙක් ඝාතනය කරලා.
මිය යන්නේ මාලිමා ආණ්ඩුව සභාව ජය ගැනීමට උපරිම උත්සාහ කළත්, නොහැකි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා.
මිය ගිය සභාපතිවරයා ඡන්දයේත්, ඉන්පසුවත් තුනෙන් දෙකේ බලයක් හිමි ආණ්ඩුවක් පරාජය කළ මිනිහෙක්.
ඔහු ඉදිරියේ ආණ්ඩුවේ සියලු සැලසුම්, නාට්‍ය පරාජය වුණා.
මින්පෙර මේ සභාවේ බලය පිහිටුවන ඡන්දයේ දී වෙඩි හුවමාරු වුණා. පැහැර ගැනීමේ නාට්‍ය රඟදැක්වුණා. සභාවට වෙඩික්කරුවන් පැමිණෙන්නට පෙර මාලිමා පාක්ෂිකයන් කඩා පැන්නා.
තවමත් ඒවා ගැන කිසිඳු පරීක්ෂණයක් සිදුව නැහැ.
අද එහි සභාපතිවරයා සභාව තුළම ඝාතනය කෙරෙනවා. ඔහු ප්‍රාදේශිය සභාවේ සිය කාමරයේ සිටි වේලාවන් ඝාතකයන් දන්නේ කෙසේදැයි අප දන්නේ නැහැ.
කෙසේවෙතත් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ ආරක්ෂාව වැලිගම ප්‍රාදේශීය සභාවේ පස්සේ දොරෙන් පැනලා යනවා පේනවා.
කිසිදා නොනවතින දවසේ වෙඩිල්ල....
ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහේෂ් හපුගොඩ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත්තේ මෙවැනි සටහනකි.
දවසේ වෙඩිල්ල දැන් ඇහෙන්නේ නැහැ කිව්වට ඔන්න දැන් වෙඩිහඬ වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුලෙන්ම ඇහෙන්න ගත්ත.
මියගිය තැනැත්තාගේ අතීතය කුමක් උනත් මේ විදියට ජනතා නියෝජනයේ ආයතනයක් ඇතුලෙම ඒ ආයතනයේ මහජන නියෝජිතයා මරලදානවා කියන්නේ ඇත්තටම බලපතල තත්වයක්. මේ රටේ දැන් ජීවත්වෙන්න පුළුවන් ද කියන ගැටළුව දැන් අපි ආසන්නයටම ඇවිල්ල තියනවා.
මේ ඝාතනයේ බරපතල තත්වය වඩාත් තීව්‍ර වෙන්නේ ඔහුට තුනෙන් දෙකේ ආණ්ඩුවක් තියන වෙලාවේම එම බලයට අභියෝග කරමින් සජබ ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවීම ඇතුලේ.
මට මතක විදියට කලබගෑනි ගොඩක් අස්සේ තමයි ඔහු බලය පිහිටුවන්නේ. පැරදුන අයට එක මතක නැතිවෙන්න බැහැ.
පාතාලේ මර්ධනය කරනවා වෙඩි හඬ නවත්වනවා කියල කිව්වට ඒවා ඇත්ත යථාර්තයේ කොච්චර ඈතින් තියනවද කියල දැන් තේරෙන්න ඕනි. සමහර විට මේ ඝාතනය ඇතුලේ යම් පණිවිඩයක් ලියල ඇතියි කියලත් හිතෙනවා බැලූ බැල්මට.
නිවන් සුව!