20 වෙනි සියවස ආරම්භයේ දී කොළඹ ඇම්. ජී.පෙරේරා නමින් සුප්‍රසිද්‍ධ ව්‍යාපාරිකයෙක් වාසය කළේ ය. මොහුගේ වෙළඳ ව්‍යාපාරය "ඉලෙක්ට්‍රිකල් ඇක්සෙසරීස්" නමින් පිටකොටුවේ කුමාර වීථියේ අංක 13 දරණ ස්ථානයේ පැවතියේ ය.
හින්දුස්තානි සංගීතය පිළිබඳව ලියැවුණු පැරැණිතම කෘතිය
අවිවාහකයෙකු වූ ප්‍රේරා පදිංචිව සිටියේ ද මේ ස්ථානයේ ම ය. මේ අගනුවර සංගීත සංස්කෘතියක් දලු ලා වැඩෙමින් පැවති අවධිය යි. නෘත්‍ය සංගීතයත් ඒ සමග ම මෙරටට ආ උත්තර භාරතීය හින්දුස්තානි සංගීතය ක්‍රමය සහ එය ගරු කළ භාරතීය ශිල්පීන් ද මේ සමයේ අගනුවර බහුල විය. සිංහල කතාකරන ජනයාට සංගීතය උගෙනීමට අවශ්‍යය නම් අනිවාර්යයෙන් ම අගනුවර විසූ භාරතීය ශිල්පීන් වෙත යෑමට සිදු විය. ඒ, සිංහල බස කතාකරන එකදු සිංහල සංගීතඥයෙකු හෝ එවකට ලංකාවේ නොසිටි බැවිනි. කලින් කලට මෙහි පැමිණි භාරතීය ශිල්පීන්ගෙන් ද බේබි මහරාජා නම් සිංහල ව්‍යාපාරික මහතෙකුගෙන් ද සංගීතය උගෙනීමට අප කතානායක වන ඇම්. ජී.පෙරේරා උනන්දු විය. බේබි මහරාජා නමින් ප්‍රකටව සිටියේ ජේ. ජෝර්ජ් පෙරේරා(ජයසූරිය) ය. දැනට ලැබෙන තොරතුරු අනුව සිංහල භාෂාවෙන් හින්දුස්තානි සංගීතය පිළිබඳව ලියැවුණු පැරැණිතම කෘතිය ලීවේ ද මේ බේබි මහරාජා ය. ඒ 1899 දී ය. අවාසනාවකට මේ කෘතිය දැන් අස්‍ථානගත ය.
ලංකාවේ සංගීත ග්‍රන්ථකරණයේ පියා
සංගීතයට අමතරව පෙරදිග හා අපරදිග භාෂාවන්හි මනා උගත්කමක් ඇම්. ජී.පෙරේරා වෙත විය. දොස්තර ආතර් ද සිල්වාගේ "සිහල සමය" පුවත්පතේ කර්‍තෘවරයෙකුව ද සිටි ඇම්. ජී. දැනට දෘශ්‍යමානව පවතින සිංහල භාෂාවෙන් හින්දුස්තානි සංගීතය පිළිබඳව ලියැවුණු පැරැණිතම කෘතිය ලියන්නට යෙදුණේ 1912 දී ය. ඒ ගීත ශික්‍ෂකය යි. මේ ග්‍රන්ථය නිසා එතෙක් සංගීතයේ ප්‍රායෝගික පක්‍ෂය පමණක් උගැනීමට හැකියාව ලැබුණු සිංහල භාෂාව කතාකරන ප්‍රජාවට සිංහල භාෂාවෙන් ම හින්දුස්තානි සංගීතයේ සෛද්‍ධාන්තික පක්‍ෂය උගෙනීමට හැකියාව ලැබුණි. ප්‍රායෝගික පක්‍ෂයෙන් පමණක් නියම සංගීත රසය ලබා ගැනීමට නොහැකි බැව් ඇම්. ජී. නිතර සිය ග්‍රන්ථවල කියා තිබෙයි. ඇත්තෙන්ම ලංකාවේ සංගීත ග්‍රන්ථකරණයේ පියා ලෙස හැඳින්වීමට සුදුසු ඇම්. ජී.පෙරේරා පිළිබඳව දැන් හින්දුස්තානි සංගීතයේ ප්‍රාමාණික උගතුන් පවා නොදන්නා සේ ය.
සිංහල භාෂාවෙන් සංගීතය පිළිබඳව ලියැවුණු මුල් ම පර්‍යේෂණ පත්‍රිකාව
1912 දී මුලින් ම ගීත ශික්‍ෂක ප්‍රථම භාගයත් 1917 දී එහි ද්විතීය භාගයත් ඇම්. ජී. ප්‍රේරා පලකරන්නට යෙදුණි. මේ ග්‍රන්ථ එවකට ජනයාගේ මහත් ප්‍රශංසාවට භජනය වූ බැව් කිවයුතු ම ය. 1921 දී පෙරකදෝරු ජෝන් ද සිල්වා ලියන්නට යෙදුණු සිංහල පරාභව ප්‍රකරණයේ එන දෙබසක මෙසේ දැක්වුණි.
"බාල පරම්පරාවේ ප්‍රයෝජනය මුදුන්පත් කරගෙන වෙහෙස දරා සංගීතඥයෙක් "ගීත ශික්‍ෂක" ප්‍රසිද්‍ධ කර දුන්නේ ය. ඒ මගින් අපට සංගීත ශාස්ත්‍රයේ ප්‍රධාන ගුරුකම් පහසුවෙන් දැන ගන්ට ඉඩ ලැබී තිබෙයි."
ඇම්. ජී. සිය ජීවිත කාලය තුළ රචනා කළ සංගීත ග්‍රන්ථ ප්‍රමාණයෙන් එකොළහකි. ඒ ග්‍රන්ථ එකොළහ දැනට විද්‍යමානව පවතින පැරැණිතම සිංහල සංගීත ග්‍රන්ථයි.පෙරේරා මේ අයුරින් ග්‍රන්ථ රචනා කළේ මුදල් ඉපයීමකට නම් නොවෙයි. ඒ බව එම ග්‍රන්ථ පිරික්සීමේ දී ම පැහැදිලි වෙයි. 1933 දී ඇම්. ජී.පෙරේරා"ගීත ශික්‍ෂක" තෘතීය භාගය පළකරන්නට යෙදුණේ ය. ඇම්. ජීගේ උසස් ම හා දැවැන්තම සංගීත කෘතිය මෙන් ම වඩාත් ජනප්‍රිය වූ කෘතිය ලෙස ද ගීත ශික්‍ෂක තෘතීය භාගය හැඳින්වීම යෝග්‍ය ය. පිටු හාරසිය විස්සක් පමණ වූ එම ග්‍රන්ථයේ එන පිටු විස්සක පමණ එන ප්‍රස්තාවනාව සිංහල භාෂාවෙන් සංගීතය පිළිබඳව ලියැවුණු මුල් ම පර්‍යේෂණ පත්‍රිකාව ලෙස හැඳින්විය හැකි ය.
උත්තර භාරතීය රාගධාරී සංගීතය මේ රටෙහි පැලපදියම් වීම
මේ ග්‍රන්ථයේ වර්‍ණාලංකාර, තාන හා තාල වාද්‍ය, රාග හා රූපධ්‍යාන, රාග හා රාගාලංකාර, රාග ස්වරූප ආදිය පිළිබඳව ප්‍රශස්ත අන්දමෙන් විග්‍රහ කර තිබෙයි. අභ්‍යාස කිරීමට ස්වර ලිපි සියගණනක් ඇතුළත් ය. මේ ගීත බහුතරයක් ඇම්. ජී. උපුටා ගන්නට යෙදුණේ මෞලාබක්ෂ් නම් භාරතීය සංගීතඥයාගේ කෘතිවලිනි. එමෙන් ම "ක්‍රමික් පුස්තක්" නමින් භාත්ඛණ්ඩේ පඬිතුමා විසින් රචිත ග්‍රන්ථවලින් ද ස්වර ලිපි උපුටාගෙන තිබෙයි. සිංහල ග්‍රන්ථය රචනාවන අවධියේ ඇම්. ජීට පරිහරණය කරන්නට ලැබුණේ ක්‍රමික් පුස්තක් මාලාවේ මුල් පෙළ ය. එනම් මරාති පෙළ ය. පසුකාලීනව එය හින්දි භාෂාවෙන් ද පළවුණි. කෙසේවෙතත් මරාති හා සංස්කෘත බස උගත් ඇම්. ජී. උපුටාගෙන තිබෙන්නේ මුල් මරාති පෙළ ය.
මෞලාබක්ෂ්
ඇත්තෙන් ම ඇම්. ජී. පෙරේරා නම් විද්වත් සංගීතඥයා සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ අමරණීය නමක් තැබීමට සමර්‍ථ වූයේ මේ ගීත ශික්‍ෂක ග්‍රන්ථ මාලාව නිසා ය. ඔහු කෙරෙහි පැවැති නිරවුල් සහ ගැඹුරු සංගීත ප්‍රාඥත්වය මෙන් ම උසස් භාෂා ඥානය ද එම ග්‍රන්ථ මාලාවෙන් මැනැවින් ප්‍රකාශ වෙයි. වරෙක මහාචාර්‍යය සරච්චන්ද්‍ර උත්තර භාරතීය රාගධාරී සංගීතය මේ රටෙහි පැලපදියම් වූයේ ඇම්. ජී. ප්‍රේරාගේ ගීත ශික්‍ෂක ග්‍රන්ථය නිසා බැව් ප්‍රකාශ කර තිබෙයි.
"සංගීත නීතිය ලක්දිව පතල කළ" සංගීතඥයා
ගීත ශික්‍ෂකයෙන් සංගීතය උගත් ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස දහස් ගණනකි. එයින් ඇතැමෙක් උසස් සංගීතඥයෝ වූහ. ඇතැමෙක් උසස් ස්වර ඥානයක් පැවැති වාද්‍ය විශාරදවරු වූහ. තවත් සමහරෙක් උසස් ගායකයෝ වූහ. ඇම්. ජී. ව ඇතැම් තැන්වල "සංගීත නීතිය ලක්දිව පතල කළ" සංගීතඥයා ලෙස ද හඳුන්වා දී තිබෙයි.
කල් යත් ම ඇම්. ජීගේ ගීත ශික්‍ෂක ග්‍රන්ථය දුර්ලභ වන්නට විය. 1942 දී ඇම්. ජී. පෙරේරාගේ වියෝවත් සමග එම ග්‍රන්ථ නැවත මුද්‍රණද්වාරයෙන් නිකුත් නොවුණි. මේ නිසා ඇම්. ජී. පෙරේරාගේ මරණයෙන් දශක හතරක් ඉක්මගිය තැන එනම් 1981 දී එවකට පැවැති රජයේ රාජ්‍ය ඇමැතිවරයෙකුව සිටි ආනන්‍ද තිස්ස ද අල්විස් විසින් ගීත ශික්‍ෂක තෘතීය භාගය රජයේ මුද්‍රණාලයේ දී නැවත මුද්‍රණය කරන්නට යෙදුණි. නමුත් එසේ මුද්‍රණය කෙරුණේ පිටු හාරසිය විස්සෙන් පිටු එකසිය අනූහතරක් පමණි. මේ නව මුද්‍රණය කලාතුරකින් හෝ තවමත් සොයාගැනීමට හැකියාවක් ලැබෙයි. නමුත් 1933 දී නිකුත් වූ මුල් කෘතිය සුදුර්ලභ ය.
ඡායාරූපය: 1933 දී නිකුත් වූ ඇම්. ජී. පෙරේරාගේ සුප්‍රසිද්‍ධ ගීත ශික්‍ෂක තෘතීය භාගයේ මුල් පිටුව හා එහි අඩංගු වූ ඇම්. ජී. පෙරේරාගේ සිතුවම
තමල්ක නිලක්‍ෂණ
(උපුටා ගැනීම Sri Manjula Perera Face book පිටුවෙන්)