කිලෝ මීටර් 3 මීටර් 600 ක දුරක කුලී ගමන් ගාස්තු වශයෙන් යුක්රේන් ජාතික තරුණියකගෙන් රුපියල් 14000/= ක මුදලා වංචා සහගත ලෙස ලබාගත් ත්‍රිරෝද රථ රියැදුරකු සහ තවත් පුද්ගලයකු කොල්ලුපිටිය පොලිස් සංචාරක කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් මෙම ත්‍රිරෝද රථය එහි රියැදුරු හා තවත් තැරව්කරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා සමග ත්‍රිරෝද රථය සහ විදේශීය තරුණියගෙන් වංචා කළ මුදල් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙරට සංචාරයක් සඳහා පැමිණි යුක්රේන් ජාතික තරුණිය කොළඹ කොටුව ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට නැග හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලට කුලී ගමන පැමිණ ඇති අතර ඒ වෙනුවෙන් ත්‍රිරෝද රථ රියැදුරා ඇයගෙන් රුපියල් 14000/= ක මුදලක් ලබාගත් බව එම තරුණිය විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ පැමිණිල්ල සමග යුක්රේන් ජාතික තරුණිය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද ත්‍රිරෝද රථයේ පැමිණෙන විට ලබාගත් අවට දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන ත්‍රිරෝද රථයේ වර්ණය ද හඳුනාගෙන එම මාර්ගයේ සීසිටීවී දර්ශන හතකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තරුණියගෙන් ලබා ගත් මුදල් සමසේ දෙදෙනා අතර බෙදාගෙන ඇති බවද පොලිසිය කියයි.
සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු කොළඹ 15 පාර, ෆර්ගියුෂන් පාර පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු වන අතර, තැරැව්කරු කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකි.
( බිමල් ජයසිංහ බණ්ඩාරගම - lankacnews)