තායිලන්තයෙන් ලැබුණු තවත් ඇතුන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

තායිලන්තයෙන් ලැබුණු තවත් ඇතුන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු වන ප්ලායි ශ්‍රීන්හරොන්ග් (Plai Srinharong) සහ ප්ලායි ප්‍රාටු ෆා (Plai Pratu Pha) ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය පිරිහීමේ ලක්ෂණ පෙන්නුම් කර තිබුණ ද එය මීට පෙර සෞඛ්‍ය හේතු මත මෙරටින් තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියාගේ මෙන් දරුණු තත්ත්වයක් නොවන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

තායිලන්තයේ ජාතික ප්‍රවෘත්ති කාර්යාංශයේ වාර්තාවතට අනුව, අලි ඇතුන්ගේ සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා තායිලන්ත සහ ශ්‍රී ලංකා නියෝජිතයින් සමග අලි සංරක්ෂණ කණ්ඩායම් අතර රැස්වීමක් ඔක්තෝබර් 28 වන දින බැංකොක්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

තායිලන්ත රජය ඇතුන් දෙදෙනාගේ ශුභසාධනය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචර්ට් චොම්ක්ලින් පැවසූ බවට වාර්තා කරන ප්‍රවෘත්ති කාර්යංශය රාජතාන්ත්‍රික සාකච්ඡා අතරතුර තායිලන්ත බලධාරින් පිරිසක් ලංකාවට පැමිණ ඇතුන් දෙදෙනාගේ තත්ත්වය සොයා බැලීමට නියමිත බව ද පවසයි.

ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව පශු වෛද්‍යවරුන් තීරණය කරන්නේ නම්, තායිලන්තය 2023 වසරේදී මුතු රාජා හස්තියා මෙරටින් නැවත ලබා ගත් ආදර්ශය අනුගමනය කරමින් මෙම අලින් දෙදෙනා ආපසු ලබා ගැනීමට තායිලන්ත රජය අපේක්ෂා කරයි.

1980 සහ 2016 අතර කාලයේදී තායිලන්තය විසින් විදේශගත කරන ලද අලි ඇතුන් විසි දෙදෙනා අතර දැනට ශ්‍රී ලංකාවේ සිටින ඇතුන් දෙදෙනා ද ඇතුළත් වන අතර එරට රජය තවදුරටත් අලි අපනයනයට අවසර නොදෙන බව ද තායිලන්තයේ ජාතික ප්‍රවෘත්ති කාර්යාංශය වාර්තා කර ඇත.

'අපිට එහෙම කිසි ම නිවුස් එකක් ඇවිල්ලා නැහැ'

බීබීසි සිංහල සේවය කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තායි රාජා (විජය රාජා) සහ කැලණිය රජ මහ විහාරයේ කණ්ඩුල නම් හස්තීන් දෙදෙනා තායිලන්තයෙන් පරිත්‍යාග ලෙස ලැබුණ ඇතුන් බව ය.

මහනුවර ශ්‍රී දළාදා මාලිගාවේ සිටින තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ලබා ගැනීමට ඉල්ලීමක් මෙතෙක් ලැබී නැතැයි දළදා මාලිගාවේ අලි ඇතුන් භාර නිලධාරි ප්‍රදීප් ලියනපලාව බීබීසි සිංහල සේවයට පවසා තිබිණ.

"සෝෂල් මීඩියාවල එහෙම ගියාට අපිට එහෙම කිසි ම නිවුස් එකක් ඇවිල්ලා නැහැ. එම්බසි එකෙන්වත් කොහෙන්වත් එහෙම එකක් ඇවිල්ලා නැහැ. මම දන්න විදියට කැලණියේ කණ්ඩුලත් දැනට පෙරහැරවල යනවා එයාට අසනීපෙකුත් නැහැ, මාලිගාවේ කෙනා නම් මද කිපිලා ගස් බැඳලා ඉන්නේ."

දළදා මාලිගාව නිරන්තයෙන් මෙරට පිහිටි තායිලන්ත තානාපති කාර්යාල සමග සම්බන්ධතා පවත්වමින් තායි රාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද දැනුවත් කරන බව අලි ඇතුන් භාර නිලධාරියා සඳහන් කර ඇත.

තායි රාජා හස්තියා 1986 වසරේදී එවකට තායිලන්ත රජු ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත පරිත්‍යාග කරනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ විශාලතම දළ යුගලයක් හිමි සද්දන්තයන් අතර ප්‍රමුඛස්ථානයේ පසු වන කණ්ඩුල ඇතා තායිලන්තය විසින් මෙරටට ප්‍රදානය කරනු ලැබ ඇත්තේ, 2001 වසරේදී ය.

නැවත නොලැබුණ මුතු රාජා

කණ්ඩුල හස්තියා සමග තායිලන්තය විසින් මෙරටට ප්‍රධානය කරන ලද මුතු රාජා හස්තියා දශක දෙකකට පමණ පසුව 2023 වසරේදී නැවතත් තායිලන්තය වෙත රැගෙන ගියේ ය.

අලුත්ගම, කන්දේ විහාරය භාරයේ සිටියදී හිංසනයට ලක්වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දීම සඳහා යළි රැගෙන යාමට තායිලන්ත රජය පියවර ගත්තේ ය.

මුතු රාජා ඇතා තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බව අලුත්ගම, කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියන් එකල පැවසුව ද, තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා මේතාක් මෙරටට ආපසු ලබා දී නැත.

(බීබීසී සිංහල )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න