අත් අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණ යි - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

අත් අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණ යි - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

සැකකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ලවා බලහත්කාරයෙන් හෝ යම් බලපෑමකින් 'වොයිස් කට්' (Voice Cuts) ලබා ගැනීම සහ එම දර්ශන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම ශ්‍රී ලංකා පොලිසියේ ම ආශීර්වාදයෙන් සිදුවන බව තම සංගමයේ නිරීක්ෂණය යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කර සිටින්නේ අත් අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් යැයි නිවේදනයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකා පොලිසියෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් ආයතනවලින් වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගම ඉල්ලා සිටින්නේ, පොලිස් නිලධාරීන් විසින් ම මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීම වහාම නතර කරන ලෙසයි.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත සහ එහි සභාපති ෆ්‍රෙඩී ගමගේ ගේ අත්සනින් යුතු එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෙවැනි බොළඳ සහ වෘත්තීය නොවන ක්‍රියා මගින් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවන අතර, විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ වෘත්තීයභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න සහ සැකයන් ඇති කරයි. අවසානයේදී එය මුළුමහත් අපරාධ යුක්තිය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කරමින්, සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එනු ඇත.

අපගේ සංගමය ශ්‍රී ලංකා පොලිසියෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් ආයතනවලින් ඉල්ලා සිටින්නේ, පොලිස් නිලධාරීන් විසින්ම මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීම වහාම නතර කරන ලෙසයි.

අවසාන වශයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත ඇඟිල්ල දිගු වුවද බොහෝ අවස්ථාවලදී මෙම වීඩියෝ දර්ශන මුදාහරින්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම බවට අපට සාධාරණ සැකයක් පවතී. එසේ නම්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින්ම නීතිය හා වෘත්තීය මූලධර්ම උල්ලංඝනය කරමින් මෙවැනි දර්ශන ප්‍රචාරය කිරීම බරපතළ වරදකි.

විනිසුරුවරුන්, නීති විශාරදයන්, පොලිස් ප්‍රකාශකයින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම මෙරට නිතිය ද වරින් වර පෙන්වා දී ඇති පරිදි, අත්අඩංගුවට ගැනීම යනු වරදකරු බවට තීන්දු කිරීම නොවේ.

අපගේ සංගමය විශ්වාස කරන්නේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පුරවැසියන්ගේ මූලික අයිතීන්ට ගරු කළ යුතු අතර, විමර්ශන කාර්යක්ෂමතාව සහ වෘත්තීයභාවය ආරක්ෂා කර ගත යුතු බවයි.

එබැවින් මාධ්‍ය වෙත ඇඟිල්ල දිගු නොකොට මෙවැනි වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම වහාම නවත්වන ලෙස අප ශ්‍රී ලංකා පොලිසියෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න