ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරයේ විහාරාධිපති නාඔටුන්නේ විජිත හිමි බාල වයස්කාර ගැහැනු ළමුන් 6 දෙනෙකුට එරෙහිව ලිංගික අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ABC ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙන්නේ වසර 30කට පෙර සිදු කළ බවට පැවසෙන මෙම ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චෝදනා 17කට එම හිමියන් වරදකරු වී ඇති බව ය.
ඒ අනුව , මේ වන විට 70 හැවිරිදි වියේ පසුවන නාඔටුන්නේ විජිත හිමිට වසර 10කට අධික සිර දඬුවමක් නියම වීමට ඉඩ ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළේය.
1994 සහ 2002 අතර කාලය තුළ එම විහාරාධිපති හිමි විසින් මෙම වැරදි සිදු කළ බවට  ඊයේ දින එනම්, 2025 ඔක්තෝබර් 30 වන දින වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණ ජූරි සභාවක් විසින් තීන්දු කරනු ලැබ ඇත.
නාඔටුන්නේ විජිත හිමි වැඩ විසූ ස්ථාන දෙකකදී රසකැවිලි ලබාදී බාල වියේ පසුවූ වින්දිතයන් සිය ආවාසයට ගෙන්වා ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
වයස අවුරුදු 16ට අඩු දරුවෙකු සමග ලිංගිකව හැසිරුණු බවට වන චෝදනා අටකට සහ අවුරුදු 16ට අඩු දරුවෙකු සමග අශෝභන ක්‍රියා සිදු කිරීමේ චෝදනා 9ක් සම්බන්ධයෙන් මෙම හිමියන් වරදකරු වී තිබේ.
ජූරි සභාව අධිකරණ කාමරයෙන් පිටව ගිය පසු භික්ෂුවට සහය දැක්වීම සඳහා නඩු විභාගයට සහභාගී වූ පිරිස් හඬා වැටුණු බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි සඳහන් වන්නේ වැරදිකරු වූ හිමිනමට වික්ටෝරියානු නීතිය යටතේ අවුරුදු 10කට වැඩි සිර දඬුවමක් ලබා දීමට හැකි බව ය.
මෙම හිමිනමට එල්ල වී ඇති අශෝභන ක්‍රියාවක නිරත වීමේ චෝදනා අතුරින් එක් චෝදනාවකින් නිදහස් කර ඇති අතර, තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ජූරි සභාව තවදුරටත් එකඟතාවකට පැමිණීමට නියමිත බව අදාළ වාර්තාවල සඳහන් ය.
වින්දිතයින් කිහිප දෙනෙකු පොලිසියට ඉදිරිපත් වීමෙන් පසුව, 2023 දී මෙම භික්ෂූන් වහන්සේට එරෙහිව චෝදනා එල්ල විය.
පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේ යනු කවුද?
1994 වර්ෂයේ මුල් භාගයේදී, ඔස්ට්‍රේලියාවේ පිහිටි බෞද්ධ සංගමයේ ආරාධනයකට අනුව පුජ්‍ය නාඔටුන්නේ විජිත හිමි ස්වීඩනයේ සිට ඔස්ට්‍රේලියාව බලා වැඩම කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්‍රීන්වේල් හි පිහිටි විහාරස්ථානයට නාඔටුන්නේ විජිත නායක හිමියන් වැඩම කිරීමට පෙර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කර ඇත්තේ අපවත්වී වදාළ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය.
නාඔටුන්නේ විජිත නාහිමියන් ඔස්ට්‍රේලියාවට වැඩම කිරීමට පෙර ස්වීඩ්න්, ස්ටෝක්හෝම්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක කාලයක් විහාරාධිපති හිමියන් ලෙස වැඩ සිට ඇත.
බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය ගැන ඇතිවූ උනන්දුව මත වයස අවුරුදු 15දී තමන්වහන්සේ පැවිදි දිවියට එළඹුණු බව වරක් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.
පැවිදි දිවියට එළඹීමෙන් අනතුරුව තමන්වහන්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත්, විශ්වවිද්‍යාලයේ සිටි සමකාලීන මිතුරෙකු පසුව ස්වීඩනය බලා ගොස් සිටි නිසා ඔහුගේ ආරාධනයකට අනුව තමන්වහන්සේ එහි වැඩම කොට ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක් ධර්මදූත සේවාවේ යෙදුණු බවත් උන්වහන්සේ එම සම්මුඛ සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසූහ.
පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක හිමියන්ට සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂා චතුර ලෙස හැසිරවීමට හැකි ය.
බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම උදෙසා ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකාය විසින් 2003 වසරේදී නාඔටුන්න විජිත හිමියන්ට ගෞරව නාමයක් පිරිනමා තිබිණි.
එමෙන්ම 2011 වසරේදී රාමඤ්ඤ නිකායේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට පුජ්‍ය නාඔටුන්න විජිත නායක හිමියන් පත් කරනු ලැබුවේ අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් විසිනි.


 
     
     
    