ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නීතීඥවරිය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත, නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා ඇති බවත් වෙඩික්කරුට සහ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට වාහනයේ ගමන් කිරිමේදී නීතිඥවරුන් භාවිතා කරන ස්ටිකර් ආදියද සැකකාර නීතීඥවරිය විසින් සලසා දී බවද විමර්ශන මගින් හෙළිවී ඇතැයි ද විමර්ශන නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත පදිංචි 52 හැවිරිදි නීතිඥවරියක බව පොලිසිය පවසයි.
(lankadeepa | ගයාන් සූරියආරච්චි)


 
     
     
    