මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ පුරප්පාඩුව පවතින සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරු මෙතෙක් නම් කර නොමැති බව මෙම නඩුව ඊයේ (30) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම විනිසුරු සඳහන් කර ඇත.
එම විනිසුරු ධුර සඳහා කඩිනමින් විනිසුරුවරු පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කර ඇති විනිසුරු සුජීව නිශ්ශංක, එතෙක් මෙම නඩුව දෙසැම්බර් මස 05 වැනිදා දක්වා කල් තබන බව නිවේදනය කර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකු නම් කර ඇත.
2010 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටව යන ප්‍රදේශවලදී, විත්තිකරුවන් විසින් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව, රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

