ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි අපරාධ නීති පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් දකුණු කොරියානු රජයේ KOICA ව්‍යාපෘතිය මඟින් දියත් කරන ලද ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසුව පවත්වන ලද නිල උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (31) පැවැත්විණි.
නිලධාරීන් අටදෙනකුට දකුණු කොරියානු පුහුණුවක්
දකුණු කොරියානු රජය මඟින් කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීති පද්ධතිය තුල මත්ද්‍රව්‍ය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීම සඳහා 2021 වසරේ සිට 2025 වසර දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වු සියලු උපදේශක සේවාවන්, නව තාක්ෂණික ක්‍රමවේද ස්ථාපනය කිරීම, නිලධාරීන් පුහුණු කිරීම් කොරියාවේ අපරාධ පරීක්ෂණ සේවා ආයතනය විසින් සිදු කරන ලදී.
ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලක් දකුණු කොරියානු රජය විසින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති අතර, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ ධූලක විද්‍යා අංශය සහ මත්ද්‍රව්‍ය අංශය යන අංශ දෙක සඳහා විද්‍යාගාර පුළුල් කර යාවත්කාලීන කිරීම, නවීන අධි තාක්ෂණික යන්ත්‍ර උපකරණ ලබාදීම ද සිදු කර ඇත.
මෙම ව්‍යාපෘතියට සමගාමීව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක නිලධාරීන් 08 දෙනෙකු හට දකුණු කොරියාවේ SKK විශ්වවිද්‍යාලයේ දී අධිකරණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව සහ විද්‍යාත්මක නිලධාරීන්හට කොරියාවේ අපරාධ පරීක්ෂණ සේවා ආයතනයේ පුහුණුවීමේ අවස්ථාව ද ලබා දී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, ආණ්ඩුවේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ, KOICA හි මෙරට අධ්‍යක්ෂක Yooli Lee, ව්‍යාපෘතියෙහි මෙරට කළමනාකරණ අධ්‍යක්ෂක Hyeyeong Choi යන අය මෙහි දී අදහස් පළ කළ අතර, UNOPS හි මෙරට අධ්‍යක්ෂක Charles Callanan , කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න යන අය ඇතුළු කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උත්සවයෙන් අනතුරුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි අධිකරණ ධූලක විද්‍යා අංශය සහ මත්ද්‍රව්‍ය අංශවල විද්‍යාගාර නිරීක්ෂණය කිරීම ද සිදු කෙරිණ.


