ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කළ නමුත්, ව කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ප්‍රධාන පෙළේ නීති කෙටුම්පත් තුනක් තාවකාලිකව අකුළා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
දරුවන්ට එරෙහි ශාරීරික හා මානසික හිංසනයන්, නොසලකා හැරීම් දඬුවම් කිරීම් තහනම් කරමින් නීති සංශෝධනයක් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් විසින් පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනතට එරෙහිව ගුරු වෘත්තීය සමිති, මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වූ අතර, අදාළ කෙටුම්පත සඳහා සංශෝධන ඉදිරිපත් කළ හැකි බව සඳහන් කරමින් අමාත්‍යවරිය එය සම්මත කිරීම තාවකාලිකව කල් දැමීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව, සමලිංගිකත්වය අපරාධමය වරදක් ලෙස සැලකෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365ආ වගන්ති සංශෝධනය කිරීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් ලෙස ඉටු කිරීමට ආණ්ඩුව සූදානම් කර තිබුණි. කාදිනල්තුමන් ඇතුළු පූජ්‍ය පක්ෂයෙන් ඊට බරපතළ විවේචනයන් එල්ල වීමත් සමඟ, එම සංශෝධන ඉදිරිපත් කිරීම ද තාවකාලිකව කල් දමා ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ එම වගන්ති ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් කථානායකවරයාට දැනුම් දී ඇත. එහි ඉදිරි කටයුතු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ විෂය පථය යටතේ පැවතීම විශේෂත්වයකි.
වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් තුන්වැනි වැදගත් පනත වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමයි. එය පසුගිය සැප්තැම්බර් 28 වැනිදාට පෙර සිදුකරන බව විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පොරොන්දු දී තිබුණ ද, ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට පෙර එය ඉදිරිපත් කිරීමට සැලසුම් කළද එය ඉටු වූයේ නැත. අධිකරණ අමාත්‍යවරයා පසුව ප්‍රකාශ කළේ ඔක්තෝබර් 28 වැනිදා වනවිට එය අවසන් කරන බව වුවද, එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් ගොස් තිබීම කැපී පෙනේ.
(infosrilanka)

