ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන්නේ යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177දෙනකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී විසිර යෑමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් (05) සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා...
බන්ධනාගාරය දඬුවම් ලබා දෙන ස්ථානයක් නොවේ
''අපේ රජය යටතේ යුක්තිය අතළොස්සක් දෙනකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන් ගේ ම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවට ම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බව කිව යුතුයි. අපි ජනතාවගෙන් කිසිවක් පැහැර ගන්නා රජයක් නොවේ. රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම අපි භාර ගෙන තිබෙනවා.
සමාජමය සහ නීතිමය ව්‍යාධි සුවපත් කරන යුක්තිය පසිඳලන ක්‍රියාමාර්ගයක් ගොඩ නැංවීමේ කාර්යභාරයේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරියෙන් සිටිනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය විය යුතු වන්නේ දඩුවමක් ලබාදීමක් ලෙස නොව නව ආරම්භයක් ලබාදීමේ මාර්ගයක් ලෙස යි. අපේ බන්ධනාගාර පද්ධතිය යළි පිළියෙල කිරීම මේ රජයේ මුලික වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. බන්ධනාගාර දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පරිවර්තනය විය යුතුයි.
බන්ධනාගාරය ජීවිතය පිළිබඳ අපේක්ෂා දල්වන වැඩපොළක්
බන්ධනාගාරගත වන සිරකරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් අවාසි සහගත සමාජ පසුබිම්වලින් පැමිණි අය යි. ඔවුන්ගෙන් අති බහුතරයන් දෙනා 5 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණියෙන් පසුව පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වූ අය යි. අපරාධවල මූලයන් වන්නේ බොහෝ විට තනි පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් නොව සමාජ අසමානතාවය දරිද්‍රතාවය සහ වෙනස්කොට සැලකීම යි. බන්ධනාගාරගත වන සෑම රැඳවියෙක් ම දක්ෂ විනයගරුක සහ මානුෂියකරණය වූ පුරවැසියෙකු ලෙස ඉන් පිටව යා යුතුයි.
අපේ ජාතියට මාරාන්තික බලවේග දෙකක් වන මත්ද්‍රව්‍ය සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. දශක ගණනාවක් පුරා බන්ධනාගාරය යන වචනය සමාජය තුළ ඇති කළේ බිය ජනක තත්වයක් බව ඔබ දන්නවා. එම ආඛ්‍යානය වෙනස් කළ යුතු අතරම බන්ධනාගාරය පුනරුත්ථාපනය විනය සහ සදාචාර සංවර්ධනය සිදු කරන ප්‍රකෘතිමත් ආයතන බවට පරිවර්තනය කළ යුතුයි. බන්ධනාගාර පද්ධතිය විනිවිද පෙනෙන වගවිය යුතු පද්ධතියක් බවට පත් කිරීම අපේ රජයේ අරමුණයි. බන්ධනාගාරය යනු බලාපොරොත්තු සුන් කරවන වධකාගාරයක් නොව ජීවිතය පිළිබද අපේක්ෂා දල්වන වැඩපොලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නවා.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක්
අධික තදබදය අඩුකරන, දඩුවම වෙනුවට පුනරුත්ථාපනය හා අධ්‍යාපනය, නිදහස් කිරීමෙන් පසු නැවත සමාජය හා ඒකාත්මක විය හැකි නීති රාමුවක් හා වටපිටාවක් සකස් කිරීම, දඩුවම් ලබමින් සිටිය දී රැඳවියන්ට පිළිගත් සහතික ලබා ගත හැකි වෘත්තිය පුහුණුව බන්ධනාගාර පද්ධතියට හඳුන්වා දීම, රැඳවියන් තුළ පවත්නා මානසික සහ ශාරීරික කම්පනවලට පිළියමක් ලෙස මනෝ සෞඛ්‍ය ඇබ්බැහිවිම්වලින් සිදු වූ හානිය ඉවත් කර සුවපත් කිරීම හා උපදේශන සේවා ශක්තිමත් කිරීම, දුෂණය සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාර පද්ධතියෙන් ඉවත් කිරීමට යෝජිත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සිදු කරනවා.
බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ නිල ඇඳුම සහ අදාළ ආම්පන්න තුළින් සංකේතවත් වන්නේ අන් අය කෙරෙහි බලපෑමක් නොව වගකීමක් යන්නයි. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ කොපමණ සිරකරුවන් සංඛ්‍යාවක් පාලනය කරනවා ද යන්න මත නොව කොපමණ පිරිසකට තමන්ගේ ජීවිතය යහපත් පරිවර්තනයකට උපකාර කරනවා ද යන්න මතයි.
සිරකරුවකුට ගෞරව කරනවා යන්නෙන් අදහස් කරන්නේ නිලධාරීන් වන ඔබ සියලු පුරවැසියන්ට ගරු කරනවා යන්නයි. බන්ධනාගාරය යනු දඩුවම් කරන පීඩාවට නින්දාවට පත් කරන ස්ථානයක් නොව මිනිසුන් නිවැරදි කරවන මිනිසත් බවේ පරමාදර්ශ පිළිබිඹු කරන ස්ථාන බවට පත් කිරීමට අපි කැප විය යුතු යි''
ආධුනික පුහුණු බන්ධනාගාර නිලධාරීන් 168දෙනකු සහ කාන්තා නිලධාරිනියන් 09දෙනකු විසිරයාම මෙහි දී සිදු විය. 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ආධුනික නිලධාරීන්ට ජය සංකේත ප්‍රදානය කිරීම ද අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, පාඨමාලා පුහුණු ඛණ්ඩයේ සෑම අතින්ම දක්ෂතම ආධුනික පුහුණු නියාමක නිලධාරිනිය ලෙස ජී.ඩබ්ලිව්. ඩී. තිලිණි ඉසුරිකා සහ සෑම අතින්ම දක්ෂ ආධුනික පුහුණු නියාමක නිලධාරියා ලෙස කේ. ඒ. චානක උපුල් අමරසූරිය සම්මාන ලබා ගත්හ.

