ජාතික විද්‍යා පදනම සංවිධානය කරන 'ජගත් විදු දිනය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම' සඳහා සම්මාන ප්රදානෝත්සවය 2025 නොවැම්බර් 04 වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන්, "තිරසර සංවර්ධනය සඳහා සොබාදහමෙන් ආභාෂය ලැබූ තාක්ෂණය" යන තේමාව යටතේ කොළඹ දී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වන විද්‍යා හා පරිසර විද්‍යා මහාචාර්ය හිරාන් අමරසේකර විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.
2002 සිට, ජාතික විද්‍යා පදනම නොවැම්බර් 10 වන දින යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද සාමය සහ සංවර්ධනය සඳහා වූ ජගත් විදු දිනය අඛණ්ඩව සැමරුවේ වාර්ෂික විද්‍යා ප්‍රචලිත කිරීම පිළිබඳ සම්මාන ප්‍රදානෝත්සවයක් ද සමගින්ය. මෙම උත්සවය සෑම වසරක ම හඳුනාගත් තේමාවක් යටතේ පවත්වන අතර, සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කිරීම ප්‍රධාන ඉලක්කය විය.
ජාතික මට්ටමින් පැවැත්වූ විද්‍යා තරගවල විශිෂ්ටත්වය දැක්වූ පාසල් සිසුන්ගේ විවිධ නිර්මාණ ඉදිරිපත් කිරීමට මෙහි දී අවස්ථාව සලසා දී තිබුණි. ශ්‍රී ලාංකීය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීමෙහිලා පාසල් සිසු සිසුවියන්ගේ සහ ගුරුභවතුන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ අගයමින්, පහත සඳහන් තරග කාණ්ඩ සඳහා ජයග්‍රාහකයින් 290 දෙනෙකුට සම්මාන පිරිනැමී ය.
• විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය - 2024 (සම්මාන 37)
• ළමා පරිසරවේදියා වැඩසටහන - 2024 (සම්මාන 60)
• පාසැල් විද්‍යා තරඟ - 2025 (සම්මාන 187)
• විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගුරුවරුන් වෙත පිදෙන සම්මානය - 2025 (සම්මාන 8)
• ජාතික විද්‍යා පදනම සමග සම්බන්ධ ක්‍රියාකාරී පාසල් විද්‍යා සමාජවල
තරු ශ්‍රේණිගත කිරීම - 2025 (සම්මාන 3)
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාට අමතරව එම අමාත්‍යංශයේ ලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික විද්‍යා පදනමෙහි සභාපති වෛද්‍ය සුදත් සමරවීර, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන්, විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් සහ සම්මානලාභී සිසු සිසුවියන් සහ ඔවුන්ගේ ගුරුවරුන් දෙමව්පියන් ඇතුලු 750ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. මෙයට අමතරව ගුරුවරුන් සහ සිසුන් ඇතුළත්ව 1000ක පමණ පිරිසක් මාර්ගගත සජීවී විකාශය නරඹා තිබුණි.


