දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණයට එක් වූ අලුත්ම අපේක්‍ෂකයා

දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණයට එක් වූ අලුත්ම අපේක්‍ෂකයා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණය හෙට පැවැත්වීමට නියමිතව ඇත.


ඒ සඳහා මෙවර අපේක්ෂකයින් හත්දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් මෙවර දියවඩන නිලමේ නිලවරණය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට අනුමාන කළ හැකියි.

හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක ඒ අතරින් ප්‍රධානතම අපේක්ෂකයින් තිදෙනෙකි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් මස 07 වනදායින් අවසන් විය. ඒ අනුව නිලවරණය පැවැත්වෙන තෙක් වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදිප් නිලංග දෑලවම පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගනු ලැබුවේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශ අනුවයි.

දියවඩන නිලමේවරයාගේ ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත නව දියවඩන නිලමේවරයෙකු පත් කළ යුතු වේ. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන එම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන පිරිස 318කට ආසන්නයි.

භික්ෂූන් වහන්සේලා 140කට ආසන්න පිරිසක් සහ පැරණි මහනුවර රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශවල වර්තමාන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් එම පිරිසට අයත් වේ.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්ධුරය දරන කාන්තාවන්ට සහ අන්‍යාගමික පුද්ගලයින්ට දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි නොවේ.

ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන පිරිස 261කට ආසන්න වනු ඇති බව වාර්තා වේ.

විහාර දේවාලගම් පනත අනුව හෙට පස්වරු 2ට මහනුවර සෙන්කඩගල ඒක්සත් බෞද්ධ සංගම් ශාලාවේ දි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණය පැවැත්වීමට නියමිතය.

මේ අතර දියවඩන නිලමේ නිලවරණය සදහා තමන්ද ඉදිරිපත් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකාර පීඨයේ මහාචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ ඊයේ පේරාදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේය.




(හේරත් ඒකනායක - nethnews)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න