පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ළඟදීම කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.
පළාත් සභා මැතිවරණය පවත්වන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් නැති හෙයින් ඒ පිළිබඳව තීරණයකට පැමිණීමට මෙම සර්වපාක්ෂික හමුව පවත්වන බවද ඇමතිවරයා කියා සිටියි.
දැනට පළාත් සභා නීතිය පවතින්නේ ගන්ධබ්බ තැනක බවද අමාත්‍යවරයා පවසයි.
පැරැණි නීතිය දැන් නොමැති බවත් අලුත් නීතියද හරියාකාරව සකස්වී නොමැති බවත් අබයරත්න මහතා සඳහන් කරයි.
පළාත් සභා නවයේ නිල කාලය අවසන්වී වසර දහයක් ඉක්මවා ඇත. දැනට සියලු පළාත් සභාවන්හි පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.
'ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන් මගින් පළාත් සභා ගෙන යාම නීති විරෝධියි' - මහින්ද දේශප්‍රිය
මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ, පළාත් සභා ඡන්දය නොපවත්වා ආණ්ඩුකාරවරුන් මගින් පාලනය ගෙන යෑම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවයි.
පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් හෝ අවශ්‍ය බවද පසුගියදා (05දා) පැවති මැතිවරණ කොමිසමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු කීය.
''පළාත් සභා ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පළාත් සභා ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධියි. ශ්‍රේෂ්ඨාධිකරණය ද මේ බව තහවුරු කර තිබෙනවා. මොන ආණ්ඩුවකින් හරි ඡන්ද කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියි. පළාත් සභා එපා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර 13 වැනි සංශෝධනය අවලංගු කළ යුතුයි.
මුදල් වෙන් කළ පමණින් පළාත් සභා ඡන්දය තියන්න බැහැ. ඡන්දය හිරවී තිබේ නම් එය ලිහා ගැනීමට ක්‍රියාකළ යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි මොන ක්‍රමයට ද ඡන්දය පවත්වන්නේ කියලා. පරණ ක්‍රමයට තියනවා නම් ලබන වසරේ මුල පුළුවන්. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියා තිබුණා වසරක් ඇතුළත ඡන්දය තියන බවට. දැන් මේක සම්පූර්ණ අවුල් ජාලයක් වෙලා. විසඳුම පාර්ලිමේන්තුව හරහා පමණයි'' යැයි ද මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසීය.

