පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටලු විසදීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
විශේෂ අවධානය යොමු කළ කරුණු
පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 3ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත්කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙහි දී සාකච්ඡාව සිදු කරන ලදී.
එමෙන් ම සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් ඔවුනට බලපාන අනෙකුත් වෘත්තීය ගැටලු මෙන් ම සිය සේවා කටයුතු සිදු කිරීමේ දී අභියෝගයක‍්ව පවතින මානව සහ භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව ද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටව ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනා ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දිර්ඝව සාකච්ජා කළේ ය.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ අදාළ නිලධාරීන් එක්ව විශේෂ සාකච්ජාවක්
විසඳුම් ලබා දිය හැකි ගැටලුවලට එම මොහොතේ ම නිලධාරීන් සමග සාකච්ජා කර විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගත් අතර තවත් කරුණු ගණනාවක් සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන් සමග කරුණු විමසා බැලී ය.
පළාත් සභා රෝහල්වලට සහ සෞඛ්‍ය ආයතනවලට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ආවේණික වූ ගැටලු කිහිපයක් පවතින බවද වෘත්තීය සමිති නියෝජිතයන් මෙහි දී පෙන්වා දුන්නේ ය.
එම ගැටලුවලට විසදුම් ලබා දීම සදහා කඩිනමින් පළාත් ආණ්ඩුකාරවරුන් සහ අදාළ නිලධාරීන් එක්ව විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමික ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිසිර හර්ශප්‍රිය කුමාර, අධ්‍යක්ෂ සමන්ත රණසිංහ,පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දීප්ති ජයතුංග, ලේකම් ධම්මිකා දමයන්ති, භාණ්ඩාගාරික ප්‍රබෝධනී අධිකාරී යන අය මෙන් ම වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
(දීප්ති විජේතුංග)

