පොහොසත් රටක් ලස්සන ජිවිතයක් වෙනුවට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය වෙලා !

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් වෙනුවට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය වෙලා !

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා ජනවරම් 3ක ලබා ගත්ත ද වත්මන් රජය අද රටේ ජනතාවට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

ඒ අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

සුපිරි ගණයේ කඩවුණු පොරොන්දු චිත්‍රපටියක්

මේ රජය පසුගිය පාර්ලිමේන්තු අවසන් දිනයේ 2025 අයවැයේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය ප්‍රශ්න කළත් මේ සරල ප්‍රශ්නයට රජයට තවමත් පිළිතුරු දීමට නොහැකි තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවලට රජයේ නිලධාරීන් ලබා දුන් ප්‍රගතීන් අනුව පාසල් අධ්‍යාපනය නවීකරණය කරන්න රු. මි. 500ක් වෙන් කළත් භාවිත කර තිබෙන්නේ 20%ක් පමණයි. උසස් ශ්‍රෙණිගත විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව දීමට රු. මිලියන 200ක් වෙන් කළත් ප්‍රගතිය 15%ක් පමණයි.

ඔටිසම් දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන්න රු. මි. 250ක් වෙන් කළත් එහි ද ප්‍රගතිය 30%ක්පමණයි. ඔටිසම් දරුවන්ට සෞඛ්‍ය අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි කිරීමට රු. මි. 200ක් වෙන් කළත් ප්‍රගතිය 15%ක් පමණයි. කෘෂිකර්ම හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසාය සංවර්ධනයට රු. මි. 500ක් වෙන් කළත් එහි ප්‍රගතිය 45%ක් පමණයි. ක්ෂේත්‍ර භෝග ප්‍රවර්ධනයට මිලියන 500ක් වෙන් කළත් ප්‍රගතිය 40ක් පමණයි. ක්‍රීඩා සංස්කෘතියක් සඳහා රු. මි. 500ක් වෙන් කළත් ප්‍රගතිය 10%ක් පමණයි.

එසේම උතුරු පොල් ත්‍රීකෝණයට‌ රු. මි. 500ක් වෙන් කළත් ප්‍රගතිය 46%යි. ඌන උපයෝජන ඉඩම් ආයෝජනවලට දීමට රු. මි. 250ක් වෙන් කළත් ප්‍රගතිය 10%යි. 2025 අයවැය ප්‍රගතිය මේ ආකාර වන විට 2026 අයවැය යෝජනාවලට යන කළ ගැන අමුතුවෙන් කිව නොහැකි යි. ජනවරම් 3ක් ගෙන නිර්මාණය කළේ අලුත්ම මාදිලියේ සුපිරි ගණයේ කඩවුනු පොරොන්දු චිත්‍රපටියක්. ජනතාව මේ ආකාරයෙන් රැවැටුවේ ඇයි ද කියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා.

අසුවැසුම ඉල්ලන්නෙ හිඟන්නො ද...?

අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කිරීම, ණය තිරසරභාවය වෙනස් කිරීම, නව ගිවිසුමකට යන බව කිව්වත් ඒවා නොකර දුප්පතුන් ගොවියන් කම්කරුවන් තරුණයන් ව්‍යවසායකයන් හා ව්‍යාපාර මෙන්ම වතු ප්‍රජාවද අනාථ කළා. රාජ්‍ය සේවකයන් නිල ඇදුමින් දේශපාලන රැස්වීම්වලට ගෙනවිත් ඇන්දවූවා. අද වන විට ජනතාවට එදිනෙදා වේල් තුන පිරිමහ ගන්න නොමැති වුවත් රජයට විසඳුම් නෑ. රජය කරන්නේ විහිළු සපයා බොරැ කීම විතරයි. රජය දේශපාලන පළිගැනීම් හරහා දේශපාලන පැවැත්ම ක්‍රියාත්මක කරනවා.

උපාධිධාරීන් 35000ක් රැකියා දෙන බවට පවසා මැතිවරණ තුනේ දී ම රැවටුවා. මේවට සාක්ෂි සාධක පවා තිබෙනවා. ගුරු සංවර්ධන නිලධාරීන් පවා අසරණ කරා. තොරතුරු තාක්ෂණ රැකියා කරන අයට 15%ක බදු ගැසුවා. මොවුන් සියල්ල කළේ බොරුව. මොවුන් පච දේශපාලනයේ කප්පිත්තන් බවට පත්ව තිබෙනවා. විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් ඒක අඩු කරේ නෑ. අපේ රටේ 25%ක් මේ වන විට දුප්පත්. තවත් විශ්ලේෂකයන්ට අනුව 50%ක් බවත් දුප්පත්. අස්වැසුම ඉල්ලන්නේ හිඟමනේ යන ජනතාව කියා ආණ්ඩුවේ ඇමතිවරු කියනවා.

IMF පදයට සුන්දර නැටුමක්

දුප්පත්කම තුරන් කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති වුවත් ආණ්ඩුවේ ඇමතිවරු ලැජ්ජා නැතිව දුප්පත් ජනතාව හිඟන්නන් ගාණට දමා කතා කරනවා. මේ රජය බොහෝම සුන්දර ආකාරයට අයි. එම්. එෆ් පදයට නටනවා. මේ අයවැයේ කර්තෘවරයා වන්නේ ද අයි. එම්. එෆ් එක බවත් අද ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අද සහන නොමැති බවත් මැතිවරණ නිසා පරාටේ නීතිය තාවකාලිකව නැවැත්වුවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර ඇති මෙවැනි ගැටලු මැද අලුත් ණය ක්‍රමත් ඉදිරිපත් කරන බවත් අද විරැකියාවට විසදුම් නැති බවත් ඊට අමතරව පාසල් පවා වහන්න යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය.

ගෝඨාභය මැන්නෙ පොල්; අනුර ලූනු මනිනවා

එදා ගෝඨාභය රාජපක්ෂ පොල් මැන්නා සේ වත්මන් රජය ලූණු ගෙඩියේ ප්‍රමාණය මනිනවා. පුංචි මිනිසා අමතක කර අද කැසිනෝ විවෘත කර කැසිනෝකාරයන් රකින්න ආණ්ඩුව කටයුතු කරනවා. මොවුන් නිර්ධන පන්තියේ සාමන්‍ය ජනතාව අමතක කරලා. ජනතාව බදු බරින් මිරිකන පීඩනයක් ඇති කර ජනතාවගේ කරපිට හිසමත බදු බර පැටවීම සිදු කරනවා. අනවශ්‍ය ලෙස බදු ගසා භාණ්ඩාගාරයේ සල්ලි පුරවා තිබෙනවා. රජය IMF ඉලක්ක පවා ඉක්මවා ගොස් බදු ගහලා.

මන්ත්‍රීවරුන්ට පර්මිට් අවශ්‍ය වෙන්නෙ නෑ. බුද්ධිමතුන් වෘත්තීය වේදීන්ට මේ වාහන පර්මිට් දී ඔවුන් රට අතහැර යන එක වළක්වා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ රජය වැඩිපුර බදු ගසා ජනතාව අසරණ කර ජනවරම් 3ක් පාවා දී තිබෙනවා. මේ නිසා වෙන් වෙනවද එකතු වෙනවාද බෙදෙනවා ද කියා විපක්ෂය තීන්දු කරන්නේ ජනතාව වෙනුවෙන් සිතලා. ඒ, වරප්‍රසාද වෙනුවෙන් නෙවෙයි. සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මැද මාවත.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න