මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට පවත්වා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් - (GMOA)

මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට පවත්වා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් - (GMOA)

මානව සම්පත් අර්බුදය, ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා සැපයීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ රෝගීන්ට අවශ්‍ය මූලික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් පවතින තත්ත්වයෙන් ම මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට පවත්වා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ 2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වයත්, ඉදිරි ක්‍රියාමාර්ගත් සාකච්ඡා කිරීමට කැඳවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වන පරිදි එළඹෙන සතිය වන විට මෙම ගැටලු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා කර විසඳුම් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා ඇතුළු වගකිව යුත්තන් අසමත් වන්නේ නම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට ද එම සංගමය තීරණය කර ඇත.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

2025.11.11
මාධ්‍ය නිවේදනය

අයවැය - 2026 මඟින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුල ඇති වී තිබෙන අහිතකර තත්ත්වයත්, ඉදිරි ක්‍රියාමාර්ගත් සාකච්ඡා කිරීමට කැඳ වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණ

මානව සම්පත් අර්බුදය, ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ රෝගීන්ට අවශ්‍ය මූලික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් පවතින තත්ත්වයෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට පවත්වා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව නොරහසකි.

මෙම ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු වගකිවයුතු පාර්ශව දිනෙන් දින දැනුවත් කරමින්, එම ගැටළු විසඳීම සඳහා තිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වා දෙන ලදී. එහිදි, ඉල්ලීම් කිහිපයක් කර තිබියදීත්, නිදහස් සෞඛ්‍ය සේවයේ ගැටළු සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් සාකච්ඡාවක් ලබා නොදීමද අවධානයට ලක්වුණු කරුණකි.

එවන් පසුබිමක, පසුගිය සතියේදී ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය 2026 තුල ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය සේවාවට හිමි වී ඇති ස්ථානය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

ජනාධිපතිතුමාටම අනුව ආර්ථික අර්බුදය විසදී රට නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට ළඟාවෙමින් සිටින මොහොතක සහ මුදල්වලින් මහා භාණ්ඩාගාරය ඉතිරි යමින් පවතින මොහොතක ඉදිරිපත් කරන ලද මෙම අයවැය ලේඛනය තුළ, රාජ්‍ය සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය ආරක්‍ෂා කර ගනිමින් ශක්තිමත් කරගැනීම උදෙසා විධිමත් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් වී නැත.

සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා විශ්ලේෂණය කරන විට අපට හැඟී යන්නේ, සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු කිසිවකට මෙම අයවැයෙන් විසඳුම් ලබාදී නොමැති බවයි. ඒ තුළ ගම්‍ය වන්නේ වත්මන් පාලනය මෙරට සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටළු කිසිවක් හඳුනාගෙන නොමැති බවයි.

ඖෂධ සහ උපකරණ වෙනුවෙන් දැවැන්ත මුදලක් වෙන් කරතිබුණද, ප්‍රමිතිගත ඖෂධ අඛණ්ඩව සැපයීමේ ක්‍රියාවලියට බාධා වී ඇති කරුණු හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා කිසිදු යෝජනාවක් මෙම අයවැය තුළ අන්තර්ගත වී නොමැත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය, ජාතික ඖෂධ තත්ත්ව නියාමන විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම වැනි ප්‍රධාන කරුණු කිසිවක් අයවැය තුළින් සලකා බලා නැත.

රෝහල් පද්ධතිය තුල දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර තිබුනද, රෝගී සත්කාර සේවා පවත්වාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට හෝ මානව සම්පත රැක ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් වී නැත.

මෙවර අයවැය හරහා වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය සේවාවට සහ රටට සිදු කර ඇති දැවැන්තම අසාධාරණය වනුයේ, රට තුළ සහ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා කිසිදු යෝජනාවක් අඩංගු නොවීමයි.

රට තුල පැවති අර්බුදකාරී වාතාවරණය හමුවේ සියලු අපහසුතා දරාගනිමින් මව්බිම තුළ රැඳී සිටී වෛද්‍යවරුන් ඇතුලු වෘත්තියවේදීන්ට කිසිදු සාධාරණයක් ඉටු කිරීමට අසමත් වීම ඓතිහාසික වරදක් බව අපගේ හැඟිමයි.

මෙම අයවැය යෝජනාවලිය හේතුවෙන් මෙරට සමස්ත වෛද්‍ය ප්‍රජාව අතර දැඩි විරෝධයක් සහ කලකිරීමක් ඇතිවී තිබෙන අතර, රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක්ද මතු වෙමින් පවතී.

අයවැය - 2026 ට සමගාමීව ඇති වී තිබෙන තත්ත්වයත්, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගත් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ හදිසි විශේෂ රැස්වීමක් අද දිනයේදී පැවැත්විණ.

එහිදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත පහත තීරණවලට එළඹෙන ලදී.

1. සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයට විසඳුම් ලබා දීම අයවැයේදී නොසලකා හැරීම පිළිබඳ දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ මහජනතාව දැනුවත් කිරීම.

2. රෝහල තුල නොමැති ඖෂධ, උපකරණ සහ රසායනාගාර පරීක්ෂණ බාහිරින් ලබා ගැනීම හෝ සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.

3. දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.

4. ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.

5. රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සපුරාලීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.

එළඹෙන සතිය වන විට මෙම ගැටළු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර විසඳුම් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා ඇතුලු වගකිව යුත්තන් අසමත් වන්නේ නම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටද තීරණය කරන ලදී.

නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති ගැටළු විසඳීම සඳහා අවශ්‍ය තරම් කාලය සහ විකල්ප ලබා දී තිබියදීත් ජනාධිපතිතුමා සහ රජය ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදි තවදුරටත් තිව්‍ර කිරීමටද තීරණය කරන ලදී.

ජනාතවගේ ජිවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම වළක්වා රෝහල් පද්ධතිය සුරක්ෂිත කිරීම ඉහළ ප්‍රමුඛතාවයක් සේ සලකා අවශ්‍ය මැදිහත් වීම් සිදු කර ගැටළු විසඳීම සඳහා ජනාධිපතිතුමා වහාම මැදිහත් විය යුතු යැයි අපි විශ්වාස කරමු.

ස්තූතියි.
මීට විශ්වාසී,

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න