ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගන්නා ඉන්දියානු මනාලිය කව්ද ?

ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගන්නා ඉන්දියානු මනාලිය කව්ද ?

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යුග දිවියට එළඹීමට සූදානම් වේ.

වතුකරයේ ප්‍රබල දේශපාලන පවුලක වත්මන් නියෝජනය වන ඔහුගේ විවාහ මංගල්‍යය මෙම මස 23 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි හින්දු කෝවිලකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජීවන් තොණ්ඩමන් අතිනත ගැනීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සී තෙයි ශ්‍රී නාච්චියාර් මෙනවිය සමඟයි. ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ වී.පී. දුරෙයිසාමිගේ දියණියයි.


මංගල උත්සවයට රනිල් ඉන්දියාවට..


මෙම විවාහ මංගල උත්සවය තමිල්නාඩුවේ ප්‍රධාන උත්සව ශාලාවකදී පැවැත්වෙන අතර, ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලාංකික දේශපාලනඥයින් රැසකට සහ ඉන්දීය දේශපාලනඥයින් පිරිසකට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

විවාහ මංගල්‍යයෙන් අනතුරුව දිවයිනට පැමිණෙන තොණ්ඩමන් යුවළ වෙනුවෙන් මෙරට හිතවතුන් සඳහා සංවිධානය කළ විශේෂ ප්‍රිය සාදයක් මෙම මස 30 වන දින හැටන්, කොටගල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

වතුකරයේ නායකයෙකුව සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුණුපුරෙකු වන ජීවන් තොණ්ඩමන්, දිවංගත ආරුමුගන් තොණ්ඩමන්ගේ එකම පුත්‍රයා වේ. 1994 වසරේ නොවැම්බර් 9 වන දින උපත ලබා මේ වන විට 31 වන වියේ පසුවන ඔහු, කොළඹ, චෙන්නායි සහ කොයිම්බතූර් යන නගරවලින් මූලික අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ නොර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හිමිකර ගෙන තිබේ.

2020 වසරේදී සිය පියාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි ජීවන් තොණ්ඩමන් එම වසරේ පැවති මහ මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. වයස අවුරුදු 26 දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත්වෙමින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වීමේ වාර්තාවට හිමිකම් කියූ ඔහු, පසුගිය රජය යටතේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.


(gossiplankanews)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න