තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඉදිරිපත් කළ විදේශීය නීති උපාධිය (LLB) සම්බන්ධයෙන් මතුව ඇති රීති උල්ලංඝනය කිරීම් සහ විෂමතා පිළිබඳව https://www.examiner.media වෙබ් අඩවියේ පලවී අති විමර්ශනාත්මක වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී ඔහු මේ බව කියා සිටියේය.
මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
"මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි"
අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ, නාමල් රාජපක්ෂගේ නීති උපාධි සහතිකය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවය.
"ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ"
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දහවල් විවේක කාලයෙන් අනතුරුව මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් කට උත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.
"ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ" යනුවෙන් ද ඩීවී චානක මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මුලාශ්‍ර පුවත් වාර්තාව :
No degree certificate in Namal’s Law College file, admission breaches entry rules

