වසර 11ක් පුරා පළාත් සභා මැතිවරණ පැහැර හැරීම ගැන ෆයිසර් මුස්තාපාගෙන් චෝදනා

වසර 11ක් පුරා පළාත් සභා මැතිවරණ පැහැර හැරීම ගැන ෆයිසර් මුස්තාපාගෙන් චෝදනා

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර 11ක් පුරා පැහැර හැර ඇති බවට පාර්ලිමේන්තුවේදී අද (19) බරපතල චෝදනාවක් එල්ල විය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා විසින් මෙම චෝදනාව එල්ල කරන ලදී.

හිටපු රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයකු වූ ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, "අවුරුදු 11කට අපි පළාත් සභා ඡන්දය පවත්වලා නැහැ," යනුවෙන් ප්‍රකාශ කළ අතර, පළාත් සභා ක්‍රමයේ ඓතිහාසික පසුබිම ඉන්දු-ලංකා ගිවිසුම බවත්, එය ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස හඳුන්වා දුන් බවත් සිහිපත් කළේය.

ප්‍රමාදයට හේතු වූ සීමා නිර්ණ වාර්තාවේ පරාජය

මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවිධ රජයන් තමන් වෙත චෝදනා එල්ල කළ බව පැවසූ මුස්තාපා මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමයේදී නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නේය.

නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට සීමා නිර්ණ වාර්තාවක් අනිවාර්ය වූ අතර, එම වාර්තාව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් පරාජයට පත් වූ බව හෙතෙම සඳහන් කළේය.

සුළු ජාතීන්ගේ නියෝජනය ගැන මන්ත්‍රීවරයාගේ ස්ථාවරය

මන්ත්‍රීවරයා තම ඡන්දය භාවිත කළ ආකාරය සාධාරණීකරණය කරමින් අවධාරණය කළේ, සීමා නිර්ණ කමිටුවේ සභාපතිවරයාම ලිඛිතව දැනුම් දී තිබුණේ එම වාර්තාවෙන් සුළු ජාතීන්ගේ සහ සුළු පක්ෂවල නියෝජනයට අසාධාරණයක් වන බවයි.

"ඒ පනතට අනුව මගේ වගකීම ජනාධිපති විසින් පත් කළ කොමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. මන්ත්‍රීවරයෙක් හැටියට මටත් වරමක් තියෙනවා එක්කෝ ඡන්දය දෙන්න, එක්කෝ විරුද්ධ වෙන්න," යැයි පවසමින්, තමන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු වූයේ එම අසාධාරණය බව පෙන්වා දුන්නේය.

වත්මන් රජයෙන් ඉල්ලීමක්

මෙම ක්‍රියාවලිය හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ යන කිසිවෙකුට මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයාගේ අදහස වූයේ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාලයේදී හෝ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවයි.

වීඩියෝ

මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ - අමාත්‍ය චන්දන අබේරත්න

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පැවසුයේ, නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා."

රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය සම්මතයි

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ සම්මත විය.

වැය ශීර්ෂයේ ශීර්ෂ 130 සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103 ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 09ක් පමණියි.

ඒ අනුව එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 94කින් සම්මත විය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න