පොලිස් සහතික ලබාදීමට මාලිමාවේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලා සිටීම බරපතල කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන් ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැතැයි පැවසුව ද මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ, කංකානම් පතිරණගේ අනුරාධ මධුශංකට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීමට හක්මන පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකය ඉල්ලා සිටින විට ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයා වන පී. රාමවික්‍රමගේ චරිත සහතිකය අවශ්‍ය බව පවසා ඇති බවත්, මේ සහතික ලබා දුන් පසුව පොලිස් සහතිකය ලබා දී ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායකවරයා...
''ඊට අමතරව කඹුරුපිටිය පොලිසියේ, ලේනබටුව ග්‍රාමනිලධාරී වසමේ, 317 සී ලිපිනයේ පදිංචි ඩී. ජී. දෙනෙත් නම් තරුණයා පොලිස් වාර්තාව ඉල්ලා සිටින විට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ හෙවත් එම ගමේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ චරිත සහතිකය පවා ඉල්ලා තිබෙනවා. තවම මොවුන්ගේ පොලිස් සහතික ලබා දී නැහැ. මේ කරුණු සියල්ල මම ඉදිරිපත් කරන්නෙ වගකීමෙන්. මේවා ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට ද පොලිස් රාජ්‍යයක් ඇති කිරිමට ද කියා ගැටලුවක් පවතිනවා. ගමේ ඇති සියලු ම සමිතිවල තනතුරු එක පක්ෂයකට සම්බන්ධ කර ගෙන ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න මොවුන් උත්සාහ කරනවා.''
විපක්ෂ නායකවරයා මෙම කාරණය සඳහන් කරනු ලැබුවේ 'අරුණ' පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විජේපාල විසින් කර තිබු ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! |
ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී Uvindu Kurukulasuriya සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහන මතු පළවේ.
'' මෙතනදි විජේපාල දෙවිදියකට වැරදියි. එක අරුණ පත්තරේ ප්‍රවෘත්තිය හරි.
ඊයෙ මම විජේපාලගෙ කතාව ෆේස්බුක් එකේ ශෙයා කළාම යලුවො කීපදෙනෙක්ම කමෙන්ට් කළා ඒ අයගෙනුත් පොලිස් රිපෝට් ගන්න ගියාම ඔය මහජන ආරක්‍ෂක කමිටුවෙ ලොක්කගෙන් සහතිකයක් ගේන්න කියනව කියල. මීගමුවෙ පොලිසියට වැටේනෙ ජාතික ජන බලවේගයෙ පලාත්පාලන ඡන්ද ලැයිස්තුවෙත් හිටපු මගෙ දීර්ඝ කාලීන මිතුරෙක්.
ඒ වගේම මගේ මස්සිනා කෙනෙක් කිව්ව එයා 2022දි, ඒ කියන්නෙ මීට අවුරුදු තුනකට පෙරත් එයා පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම ග්‍රාම සේවක සහතිකය විතරක් මදි මහජන ආරක්‍ෂක කමිටුවේ සභාපතිගෙනුත් ලියුමක් ඕන කිව්වලු, ඒක මීට මාස තුනකට කලිනුත් ඒකම උනාලු. ඒ ගිරිඋල්ල පොලිසියෙන්. ඒ කියන්නෙ ඒක මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලෙත් එක එක පොලිසි මේ වැඩේම කරල තියෙනව. විජේපාලට නිවැරදි තොරතුරු ලැබිල නැහැ. පොලිස් වාර්තා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීය ළඟ තියෙන ෆයිල් එක බලන්න. මහජන ආරක්‍ෂක කමිටුවලින් ගෙනාපු ලිපි ඕන තරම් ඇති.
අනිත් එක තමා ඇත්තටම පුවත්පතට වරදක් වෙලා තිබ්බත් ඒකට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනත් නඩු අහන එක වැරදි සම්ප්‍රදායයක්. ලංකාවෙ මාධ්‍ය සංවිධන ඔක්කොම 1998 සහ 2008 කියන කොළඹ ප්‍රකාශණ දෙකේම අත්සන් කරල තියෙනව මේ නීතිය සංශෝධනය කරන්න කියල.
මට මතකයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙ තාත්ත ඩේලි නිව්ස් එඩිටර් කාලෙ ඒසීඑස් හමීඩ්ගෙ ඡායාරූපයකට වෙන කෙනෙක්ගෙ නමක් වැරදිලා දාල කැප්ෂන් එක දාල. ඔය කමිටුවට ගෙනත් නඩු අහල දඩයක් ගැහැව්ව. ඇත්තටම වෙලා තිබ්බෙ ෆොටෝ කැප්ෂන් දෙකක් මාරු වීම. තව ගොඩක් ජනමාධ්‍යවේදීන්ට දඩගහල තියෙනව ඕකට ගෙනත්.
නමුත් ඕක ක්‍රියාත්මක වීම අකර්මන්‍ය උනේ රාවයේ වරදකට වික්ටර් අයිවන්ට ඔය කමිටුවට එන්න කිව්වම, වික්ටර් නොගිහින් ඔය කමිටුවට ප්‍රසිද්ධියෙ අභියෝග කරාම ‘නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ’ කියල. ඒව පිටි පස්සෙ හිටපු මොළේ තමා අපිත් එක්ක මිය යනකන්ම හිටපු නීතීඥ සුරංජිත් හේවාමාන්න.
ඉතිං විජේපාල මාධ්‍යයක් හිතාමතාම වරදක් කරත් ඔය යල් පැනපු නීතිය යොදාගන්න එක නෙමෙයි කරන්න ඕන, සීඅයිඩී දුවන එක නෙමෙයි. බලයෙන් ඉදිමෙනව කියන්නෙ ඔය වගේ වැඩවලට. තව මාධ්‍ය තියෙන්නෙ ඒවට චැලේන්ඡ් කරන්න. අනික පුවත්පත් පැමිණිලි කොමිසම තියෙනව, ඊටත් දරුණු, වැඩි බලයක් ආණ්ඩුවේ පාලන යටතේ තියෙන පුවත්පත් මණ්ඩලය තියෙනව. පැමිණිලි කරන්න ඒවට මුලින්ම!''

