වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත්, අතුරුදන් වූ පවුල්වලට හිමිවිය යුතු දීමනා යම්කිසි ක්‍රමවේදයක් මත නතර කර ඇති බවත්, මෙවැනි බොරු කරුණු කාරණා ඉදිරියට දමා ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමෙන්තුව අසළ පොල්දූව මංසන්ධියේ දී පැවැති ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සහන කප්පාදුව නවත්වන්න
ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස ආදිය සුරක්ෂිත වූයේ 30 වසරක කුරිරු යුද්ධය පරාජය කරන්නට වීරෝධාර රණවිරුවන් කළ සුවිශේෂී සේවාව නිසා. ඇස් හිස් මස් ලේ අවයව දන් දුන් මේ රණවිරුවන්ගේ දුක්ගැනවිලි ගණනාවක් තිබෙනවා. 2019 දී පවා කොටුවේ ඇති උද්ඝෝෂණයට එක්ව මේවා සාකච්ඡා කළත් ඒවාට විසදුම් දෙන්න අවස්ථාව ලැබුණෙ නැහැ. අවස්ථාව ලැබුණා නම් මුලින්ම සලකන්නේ මේ විරෝධාර රණවිරුවන්ට. රණවිරුවන් නිසා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි ඇති නිසා මොවුන්ට අසාධාරණ ගණනාවක් තිබෙනවා.
2025 අයවැය තුළින් සියලු රාජ්‍ය සේවකයින්ගේ සහ සන්නද්ධ සේවා නිලධාරීන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සංශෝධන කළත් ත්‍රිවිධ හමුදා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ආබාධිත විශ්‍රාමිකයන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ වැන්දඹුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කරලා. වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගත් ආබාධිත රණවිරුවන්ට විශේෂ වරප්‍රසදා හා විශ්‍රාම වැටුප් ලබා දීමට නීතිමය පදනමක් තිබුණත් ඔවුන්ට ද ඒ හිමිකම නොලැබෙමින් යනවා. මේ සහන කප්පාදුව රජය නැවැත්විය යුතු යි.
රණවිරුවන්ට හානි නොකර ආරක්ෂා කර ගැනීම සියලු දෙනා ගේ වගකීමක්
පරිපාලන ගැටලු ආබාධිත රණවිරුවන්ට අදාළ නැහැ. මොවුන් රට වෙනුවෙන් උපරිම කැපකිරීම් කර ඇති නිසා පරිපාලන ගැටලු මුල් කර ගෙන සහන කප්පාදු කරන්න එපා. කරුණාකර මේ සියලු අයිතිවාසිකම් වීරෝධාර අබාධිත රණවිරුවන්ට හා ඒ පවුල්වලට ලබා දෙන්න. යම්කිසි නීතිමය පදනමක් තුළ මේ රණවිරුවන්ට ඒ සහන එක් එක් අයගේ කැමැත්ත අකැමැත්ත මත නෙවෙයි; නීතියක් ලෙස ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතු යි. ආරක්ෂක අංශ තමන්ගේ සහෝදර රණවිරුවන්ට හානි නොකර ආරක්ෂා කර ගැනීම පොලිසිය ප්‍රමුඛ සියලු දෙනාගේ වගකීම බැවින් මේවා නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඇමරිකානු එක්සත් ජනපදය පවා ඔවුන්ගේ රටේ රණවිරුවන්ට උසස් ලෙස සලකන නිසා ඉන් පාඩම් ඉගෙන ගෙන ත්‍රස්තවාදය පරාජය කළ මේ රණවිරුවන් අමතක නොකළ යුතු යි. සංවේදී වී මොවුන්ට හිමි සහන ලබා දෙන්න.''
වීඩියෝ

