කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
අත්තනගලු ඔය, මල්වතුඔය තවදුරටත් වාන් දමමින් පවතින බවත්, මහවැලි ගඟ, මහඔය ගංඟාව, කළු ගඟ ආශ්‍රිතව පවතින ජල ගැලීම් හෙට සිට අඩු වෙමින් පවතිනු ඇති බවත් සඳහන් කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර, ඇලහැර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඇලහැර ප්‍රධාන අමුණ ආසන්නයේ ඇතිව තිබෙන හානි කඩිනමින් පිළිසකර කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් පෙන්වා දුන්නේය.
අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ
දිවයිනට බලපෑ අධික වාර්ෂාව හේතුවෙන් සියලුම ජලාශවලට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත්, වාන් දොරටු උපරිම ලෙස විවෘත කරමින් ජලාශ ආරක්ෂා කිරීමට සියලු පියවර ගෙන තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් සඳහන් කළේය.
අයහපත් කාලගුණය නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ජලාශයකට හෝ ගංඟාවකට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද ඔහු පැවැසිය .
අධික වර්ෂාවත් සමඟ සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවත්, මේ හේතුවෙන් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් උද්ගත වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය, කවුඩුල්ල, දැදුරුඔය ජලාශ තවදුරටත් වාන්දමමින් තිබෙන බවත්, මේ නිසා එම ජලාශ ආශ්‍රිතව හටගත් ගංවතුර තත්ත්වයන් දෙසැම්බර් 01 පස්වරුවේ සිට අඩු වෙමින් යනු ඇති බවත් ගුණසේකර පෙන්වා දුන්නේය.

