සජිත්, ඉන්දීය මහකොමසාරිස් සමග ලංකාව ගොඩගන්න වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරයි!

සජිත්, ඉන්දීය මහකොමසාරිස් සමග ලංකාව ගොඩගන්න වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරයි!

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමීප මිතුරකු ලෙස එකට එක්ව ජන ජීවිත බේරා ගැනීමට සුවිශාල දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ගෞරවය සහ ස්තූතිය සමස්ත ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් පුද කළේ ය.

විපක්ෂ නායකවරයා මෙලෙස ඉන්දීය මහ කොමසාරිස් වෙත සිය ස්තුතිය පුද කළේ අද (02) විපක්ෂ නායක කාර්යාලයේ දී ඔහු හමු වූ අවස්ථාවේ දී ය.

වචනයෙන් පවසා නිම කළ නොහැකි සහයෝගයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමටත්, අවතැන් වූ ජනතාවට සහන සැලසීමටත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ සෘජු මැදිහත්වීමෙන් ඉන්දීය රජයට අයත් සාගර් බන්දු නෞකාවත් සහන සේවා කණ්ඩායම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ සුවිශේෂී දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දීමෙන් විපතට පත් විශාල ජනතාවක් මුදවා ගැනීමට හැකි වූ බවත් එහි දී ආපදා සහන කණ්ඩායම්, අත්‍යාවශ්‍ය ඖෂධ, කූඩාරම් සහ විශේෂ මුදවා ගැනීම් කණ්ඩායම්, වෛද්‍යවරු, හමුදා නිලධාරීන් මෙන් ම හෙලිකොප්ටර් යානා, ජංගම රෝහල් සහ විපතට පත් ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය දෑ රාශියක් සමගින් ඉන්දීය රජය ලබා දෙන මේ සහයෝගය වචනයෙන් නිම කළ නොහැකි බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පැවසී ය.

ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සිටීම අපිට ශක්තියක්

එසේම මානුෂීය ආධාර පුරවා ගත් පාකිස්තානයේ ගුවන් යානාවලට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීම සඳහා අවසර දෙමින් ඉන්දීය රජය ගත් ඒ සුවිශේෂී තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශංසනාත්මකව සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පිරිනැමී ය.

ඉන්දු පාකිස්ථාන ගැටුම පැවතියත් මෙවැනි මානුෂීය ගැටලුවක් පැන නැගුණු අවස්ථාවක ඉන්දීය රජය ගත් එම ඓතිහාසික තීන්දුව අතිශයින් අගය කරන බවත්, සමීප මිතුරකු ලෙස ඉන්දියාව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග සිටීම රටක් ලෙස ශක්තියක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න