ජනපති සහ නියෝජ්‍ය ඇමති වටගලගේ 'පරස්පර' ප්‍රකාශ ගැන පොලිසිය භාර ඇමති කියන කතාව ?

 ජනපති සහ නියෝජ්‍ය ඇමති වටගලගේ 'පරස්පර' ප්‍රකාශ ගැන පොලිසිය භාර ඇමති කියන කතාව ?

රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තහවුරු කළේ, හදිසි නීතිය පිළිබඳ රෙගුලාසි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ විට බලාත්මක වන බව ය.

කෙසේ වෙතත්, ආපදා තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය, ජනතාව මර්දනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සහතික විය.

"කාර්යක්ෂම සේවයක් ලබා දීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත් කාර්යක්ෂම යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් අපි හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමති යි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැරණුකොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්, මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ," යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 30 වන දා ජාතිය අමතමින් පැවසීය.

එසේ තිබියදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා සහ රජයේ මැති ඇමතිවරුන් විවේචනය කරන අයවලුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ.


නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගේ ප්‍රකාශය

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල රජයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පරස්පර විරෝධී තත්ත්වයක් පෙන්නුම් කරයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ ඒ සඳහා හදිසි නීති රෙගුලාසි යටතේ ප්‍රතිපාදන ඇති බව එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

"සමාජ මාධ්‍ය ජාලය ගත්තට පස්සේ ඉතා ම නරක විදියට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරියේ තෝර ගත් කිහිප දෙනෙකුටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ල කෙරෙමින් යනවා. එතකොට මේක ඩිවලොප් වෙන්න පුළුවන්. මේක දැන් ඉහළින් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍ය ජාලයේ විශේෂයෙන් මේක කරන්නේ. ඕක ටිකක් ජනාධිපතිවරයාට කරනවා, අනිකුත් දේශපාලන අධිකාරියේ උදවියට ප්‍රහාරයන් එල්ල කරන එක, සමාන්‍යකරණයක් වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට හෝගාලා ප්‍රදේශීයව මේ ඉන්න මන්ත්‍රීවරියන්ටත් එකිනෙක ගන්න පුළුවන්."

එම අවස්ථාවට සහභාගී වී සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් කොට්ඨාස ප්‍රධානීන් අමතමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා හදිස්සි නීති රෙගුලාසි කියවා පහදා දෙමින් නීතිය ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දෙන ආකාරය දක්නට ලැබේ.

"භෞතිකව, ඔන්ලයින් මගින්, AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම් මේ තත්ත්වය අඩාළ කිරීමේ අරමුණින් කිසිදු කෙනෙකුට එහෙම ප්‍රචාරක කටයුත්තක් කරන්න බැහැ. ඒක ආවරණය කරලා තියෙනවා. ඔන්ලයින් තාක්ෂණය, AI තාක්ෂණය ඒ කිසිවකින් අනාවරණය කරන්න බැහැ. ඒක මහජන ආරක්ෂාවේ කොටසක් විදියට විස්තර කරලා තියෙනවා."


'මේ ගැසට් එක අනුව අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙක් නෙවේ චූදිතයෙක්'

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ වැරදිවලට දෙනු ලබන දඬුවම් ද ඔහු විසින් පොලිස් නිලධාරීන්ට විස්තර කර දෙනු ලබන අතර ඒ ආකරයේ පැමිණිලි 20ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී ඇති බවත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය.

එමෙන් ම මේ සම්බන්ධව අත්අඩංගුවට ගනු ලබන්නේ, සැකකරුවන් නොව චූදිතයන් බව ද ඔහු පොලිස් නිලධාරින්ට පවසයි.

"මේ ගැසට් පත්‍රය මගින් තියෙන විශේෂත්වය තමයි අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙක් නෙමෙයි, අත්අඩංගුවට ගනු ලබන්නේ චූදිතයෙක්. අන්න ඒක කියා දෙන්න පුරවැසියන්ට," නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල උපදෙස් දෙයි.

(නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසිය වෙත උපදෙස් දෙමින් කරනු ලබන ප්‍රකාශය එහි සිටින ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ද හිස සොලවමින් අනුමත කරනු වීඩියෝ දර්ශනවලින් දැක ගත හැකි ය.)

"මිනිස්සු මිහිදන් වෙලා තියෙනවා, මිනිස්සු තමන්ගේ ජීවිතය පරිත්‍යාග වෙලා තියෙනවා. එවන් වටපිටාවක් ඇතුළේ බොර දියේ මාළු බාන්න අපි කිසිසේත් ම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. පටු පෞද්ගලික දේශපාලන වාසි අත්කර ගන්න කිසිසේත් ම ඉඩ නොදිය යුතුයි මේ අවස්ථාවේ," නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.


'සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් හා මාධ්‍ය බය කරන්න දැන් ආණ්ඩුව උත්සහ කරනවා'

හදිසි නීතිය භාවිත කරමින් මාධ්‍ය නිදහස සහ කතා කිරීමේ නිදහස යටපත් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් දෙසැම්බර් 03 වන දා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය.

"ජනාධිපතිතුමා ජනතාවට එකක් කියලා ඇමතිවරු දෙන්නෙක්ව යවනවා පොලිසිය දැනුවත් කරන්න ආණ්ඩුවට විරුද්ධව මාධ්‍යවල යන ඒවාට විරුද්ධව ඇක්ෂන් ගන්න. ඒක ඉතා ම භයානක යි. මේ මොකක් ද කරන්න යන්නේ, මේ කරන්න යන්නේ සමාන්‍ය නීතියෙන් කරන්න බැරි දේ හදිසි නීතිය යටතේ ආණ්ඩුවට විරුද්ධව එන, කතා කරන ඒවා කරුණු හෙළිදරව් වෙන ඒවා, මර්දනය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේක ඉතා ම භයානක ගමනක්. පහුගිය කාලේ මේ ඉස්සරහ පේළියේ ඉන්න ඇමතිවරු ඔක්කොම දිව්වා ශානි ළඟට, අඬාගෙන ගියා, ශානි මේ බලන්නකෝ අපිට කරලා තියෙන දේවල් කියලා ශානි මුකුත් කළේ නැහැ, මොක ද ශානි දන්නවා මේවා කරන්න ගියොත් ශානි ගා ගන්නවා, ඒ හින්දා ශානි මුකුත් කළේ නැහැ. දැන් මේගොල්ලන්ට තේරුණා ශානි ගාවට ගිහිල්ලා වැඩක් නැහැ. දැන් මේගොල්ලෝ බලනවා හදිසි නීතිය පාවිච්චි කරලා මේ රටේ මාධ්‍ය නිදහස හා මේ තිබෙන ජනතාවගේ කතා කිරීමේ නිදහස යටපත් කරලා ඇත්ත තොරතුරු වසන් කරලා මේ ඉන්න සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් හා මාධ්‍ය බය කරන්න දැන් ආණ්ඩුව උත්සාහ කරමින් යනවා."


පොලිසිය භාර මහජන ආරක්ෂක ඇමතිවරයා කියන්නේ කුමක් ද?

ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හදිසි අවස්ථාව සම්බන්ධව කළ ප්‍රකාශ හරහා පරස්පරතා මතුව තිබීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් බීබීසි සිංහල සේවය මේ පිළිබඳව විමසීමක් කළේ ය.

කිසිදු මර්දනීය කටයුත්තක් සඳහා හදිසි නීතිය භාවිත නොකරන බව පැවසූ අමාත්‍යවරයා මහ ජනයාට පීඩා සිදුවන ආකාරයේ, බියට පත්වන හා කැළඹෙන ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව සමාන්‍ය තත්ත්වයක් යටතේ වුව ද ඉඩ නොදෙන බව පැවසීය.

"කිසිදු මර්දනීය කටයුත්තකට මේක යොදා ගන්නේ නැහැ. එහෙත් අපිට ඉඩ දෙන්න බැහැ මහජනයට පීඩා වෙන විදියේ, මහජනයා බියට පත්වෙන විදියේ, කැළඹෙන විදියේ ක්‍රියාමාර්ග ගන්න කිසි ම කෙනෙකුට, හදිසි නීතිය තිබ්බත් නැතත්. දේශපාලනයේදී කරන ප්‍රකාශ නම් අපි ගණන් ගන්නේ නැහැ."

ජනාධිපතිවරයා අනුව යමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ද බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ හදිසි නීතිය කිසිදු මර්දන කටයුත්තකට යොදා නොගන්නා බව ය.


හදිසි නීතිය පැනවීම ගැන කනස්සල්ල


රට තුළ සිදුවන මානුෂිය ව්‍යසනයකදී ආපදා වැනි තත්ත්වයන්වලදී භාවිත කිරීමට, ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත තිබියදී පවතින ආපදා තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය කනස්සල්ල පළ කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත සුනාමි ව්‍යසනයෙන් පසුව හඳුන්වා දෙනු ලැබුවේ ගංවතුර, නායයාම්, සුළි කුණාටු ඇතුළු ස්වාභාවික විපත්වලදී නැවත යථා තත්ත්වය පත්වීමට සහ මානුෂීය ගැටලු විසඳා ගැනීමට බව ය.

ආර්ථික, දේශපාලනික හෝ ස්වාභාවික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අර්බුදයන්ට පෙර නිමිති ප්‍රතිචාරය බවට පත්වන චක්‍රයකට රට නැවත නොයා යුතු බව අවධාරණය කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජාතික වශයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ක්‍රම වෙනසක් වෙනුවෙන් පොරොන්දු දුන් නව රජය නීතියේ අධිපත්‍යය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.


ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ආපදා තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි තත්ත්වය උපයෝගී කොටගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.

"බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බව යි. පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙරද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක් ම අපගේ නිරීක්ෂණයට ලක් වී ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු," යැයි එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.


උපුටා ගැනීම - බීබීසී සිංහල




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න