ගුවන් නියමුවරියක බව කියන තැනැත්තියක සිය දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන බවට කළ පැමිණිල්ලට අදාළව පැවති නඩු විභාගයේදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ඇය විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
පැමිණිලිකාරිය චෝදනා කරන්නේ, වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවත් ය.
එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා ය.
DNA පරීක්ෂණයක් ඉල්ලයි
ඒ අනුව, දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෞද්ගලික පැමිණිල්ල අද (දෙසැ: 08) කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා ය.
එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
අභියාචනාධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කර සිටියා ය.
'DNA පරීක්ෂණ නියෝගයකට විරෝධය'
එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව තරයේ විරෝධය පළ කළේ ය.
නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බව ය.
අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව කී චාමික කරුණාරත්නගේ නීතිඥවරයා, ඒ සම්බන්ධ ඡායාරූපයක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව නීතිඥවරයා පැවසීය.
පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවත් නීතිඥ අසේල රැකව වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කළේ ය.
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස නියෝග කෙරිණි.
මීට පෙර පසුගිය නොවැම්බර් 21 වන දා මෙම නඩුව කැඳවා තිබූ අතර, එදින චාමික කරුණාරත්න අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
(උපුටා ගැනීම - BBC සිංහල )

