නිලුපුල් ගේ වීරප්පන් බලකායේ නින්දිත, අධම ක්‍රියා මගින් තමාගේ දේශපාලන කටයුතු නැවැත්විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න අවධාරණය කර සිටියි.
ඇය එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
එම නිවේදනය මතු පළවේ.
පැය 4 කට පෙර ‘නිලුපුල් විසින් මෙහෙයවනු ලබන වීරප්පන්ගේ මඩ බලකාය’ මේ සමග අමුණා ඇති සමාජ මාධ්‍ය පෝස්ටුව අන්තර් ජාලයට එක් කර ඇත. මෙය පට්ටපල් බොරුවකි. මෙවැනි ප්‍රකාශයක් මා විසින් කිසිදු තැනක කර නැත.
මෙයට පෙර ද මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරප්පන් බලකායේ කණ්ඩායම විසින් මාගේ ප්‍රකාශ විකෘති කරමින් ද, අපහාස කරමින් ද, පොල් ගසමින් ද සමාජ මාධ්‍ය මඩ ව්‍යාපාරයක් දියත් කරන ලදී. එය සිදු කළ පුද්ගලයා විසින් මෙහෙයවන ලද සෑම පිටුවක ම මේ මඩ ප්‍රචාරය ද මේ වන විට බෙදා හැර ඇත. එය මධ්‍යගත ආසන බලමණ්ඩල මගින් ක්‍රියත්මක වන පිටුවලට ඇතුළත් කර ඇත.
දැනට දින තුනක සිට විපක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියන්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව වෛරය පතුරන කුණුහරුප සහ අසත්‍ය කරුණු මෙහෙයවන කණ්ඩායමක් ක්‍රියාත්මක වේ. එයට සජබ, එජාප, පොහෝට්ටුවේ, ශ්‍රීලනිප මහජන නියෝජිතයින් ද, වෙනත් විකල්ප අදහස් කරන අයට ද කෝපය එල්ල කර ඇත.
පසුගිය දින කිහිපය තුළ වරුණ රාජපක්ෂ, සජින් රත්වත්තේ, හර්ෂනී සඳරුවනි යන අයගේ සමාජ මාධ්‍ය පිටුවලට මෙම මඩ බළකාය මෙවැනි අවලා ද සහිත කුණුහරුප ප්‍රචාරය කර ඇත.
මා පාර්ලිමේන්තුවේ දී මේ නිලුපුල් ගේ වීරප්පන් බලකාය සහ එහි කුණුහරුප ව්‍යාපෘතිය පිළිබඳ කියා ඇත. නැවතත් කිව යුතුව ඇත්තේ දේශපාලනයේ නිරත කාන්තාවන් ක්‍රියාකාරීන් ඉලක්ක කර සිදු කරන මෙවැනි නින්දිත, අධම ක්‍රියා මගින් මාගේ දේශපාලන කටයුතු නැවැත්විය නොහැකි බවයි.
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි


