බුද්ධශාසන සභාව රැස්වෙයි

බුද්ධශාසන සභාව රැස්වෙයි

ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.

බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස් විය.

බුද්ධශාසන සභාවේ ලේකම් ධුරය දරන ලද්දේ අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන්වහන්සේ විසින්ය.

අප රට මුහුණ දුන් ස්වභාවික ව්‍යසනය නිසා අනතුරට පත් වූ සහ බලපෑමට ලක් වූ බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පිළිබඳ මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානය යොමු වූ බව වාර්තා වෙයි. රජය විසින් සමස්තයක් ලෙස ලබාදෙන ආපදා හානි වන්දි මුදලට අමතරව බුද්ධශාසන අරමුදල සහ දානපතියන්ගේ මැදිහත්වීමෙන් අරමුදල් සපයා ගනිමින් විහාරස්ථාන වෙත තවදුරටත් සහන සැලසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ. එහිදී වැඩමකොට සිටි සියලු ස්වාමීන්වහන්සේලාගේ ප්‍රසාදය ඒ සඳහා හිමිවිය.  

එමෙන්ම ජාතික වෙසක් උත්සවය වඩාත් ඵලදායී සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් මින් පෙර වසරවලදී ඒ සඳහා වැය වූ පරිපාලන වියදම් අවමකර එම මුදල් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා යෙදවීම සඳහාත් තීරණය කෙරිණි.

දහම් පාසල් අධ්‍යාපනයේ තරගකාරීත්වය අවම කිරීමත් දහම් පාසල් 'සිසු නිපුණතා' තරගාවලිය නැවත සමාලෝචනය කිරීමත් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

බුදු සසුනට එල්ලවන අභියෝගවලට විසඳුම් සෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ විධිමත්ම සාකච්ඡා කෙරුණු මෙම අවස්ථාව සඳහා සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායත්‍රයට අයත් පාර්ශ්ව 31ක් නියෝජනය කරන මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිව් නමක් සහ ගිහි නියෝජිතයෙකු ද අමාත්‍යාංශ නිලධාරීහු ද එක්වී සිටියහ.


(aruna)


budda2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න