කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙළන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ දෙසැම්බර් 09වෙනි දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය...
වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාව ගේ ජන ජීවිතයේ කොටසක් බවට පත් වෙලා
''කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර තත්ත්වය නිසා මෙතරම් අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීතිරීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන්. අතිශය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙම අවදානමට ලක් වී තිබෙනවා. පසුගිය දිනවල ඇති වූ කුණාටු තත්ත්වයෙන් විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයට ඇති වූ හානිය අඩුයි. නමුත් දිස්තික්කය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට අදාළ ආයතන සමග එක්ව විශේෂ මැදිහත්වීමක් සිදුකරනවා. අද පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තුළත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වූණා.
වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාව ගේ ජන ජීවිතයේ කොටසක් බවට පත්වීමට කිසිසේත් ම ඉඩ දෙන්න බැහැ. සියලු ආයතන හා එක් වී දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කර ඒ අනුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවධානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට යම් විසඳුමක් ලබා දීම පිළිබඳව අපි මේ වනවිටත් සාකච්ඡා කරමින් යනවා.''
මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, චන්දන සූරියආරච්චි යන අය ද සහභාගී වූහ.

