රටේ විදුලි පද්ධතිය ස්ථාපනය කළ දා සිට මේ වන තුරු ස්වභාවික ආපදා තත්ත්ව හේතුවෙන් විදුලි යටිතල පහසුම්වලට සිදුවූ බරපතළ ම බිඳ වැටීම දිත්වා සුළි කුණාටුව නිසා සිදුවූ බවත්, එහෙත් බිඳ වැටුණු සියලු ම යටිතල පහසුකම් පෙර පැවති තත්ත්වයටත් වඩා ඉහළින් සහ ශක්තිමත්ව යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) පැවති ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලයේ (GBCSL) 15වෙනි සංවත්සරය සහ 14 වෙනි වාර්ෂික තිළිණ ප්‍රධානෝත්සවයේ (15th Anniversary Celebration and 14th Annual Green Building Awards Ceremony – www.srilankagbc.org) ආරාධිත දේශනය පවත්වමිනි.
ජාතික හරිත ගොඩනැගීම් කවුන්සිලය (GBCSL) ගොඩනැගීම්වලට අදාළව තිරසර පාරිසරික සුරක්ෂිතතාව හා සංවර්ධනය අරමුණු කරගත් සංවිධානයක් වන අතර, අද එම ක්ෂේත්‍රයට අදාළ විවිධ පුද්ගලයින්ට හා ආයතනවලට තිළිණ ලබා දීම සිදු කෙරිණි.
එම දේශනයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා...
''මේ අභියෝගයට අපි රජයක් හැටියට ශක්තිමත්ව මුුහුණ දෙනවා. රටේ විදුලි පාරිභෝගිකයන් මිලියන 07කින් මිලියන 04ක් පමණ මෙහි බලපෑමට ලක් වුණා. ඒත් ඉක්මණින් ක්‍රියාකාරී වී බිඳ වැටුණු විදුලිය සම්බන්ධතා යළි ලබාදෙන්න අපට පුළුවන් වුණා. රජයක් හැටියට ජනතාවට උපරිම සහන ලබාදෙන්නත් අපි ක්‍රියා කරලා තියෙනවා''
මෙම උත්සවයට අතිපූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි නාහිමි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලයේ සභාපති ජයන්ත පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ශාන් මොහොමඩ්)

