ඕනෑම දරුණු ආපදාවක් ඇති වන අවස්ථාවක දී, එනම් ආපදා කළමණාකරණයේ දී ඉතා වැදගත් වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර වන අතර විශාල ආපදාවල දී ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් ඒ අංශ පාර්ශ්වයෙන් නායකත්වය දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
මහජනතාව ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරය
''මම කියපු කාරණයට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය යාන්ත්‍රණයට ත්‍රිවිධ හමුදාව අයිති වෙන්නෙ නෑ. එම නිසා අපිට මතකයි 2003 මහ ගං වතුර ආපු අවස්ථාවේදීත්, 2016 මහ ගංවතුර ආපු අවස්ථාවේදීත් CDS කියන තනතුර කොච්චර වැදගත් වුණා ද කියල. ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, සියලු අමාත්‍යංශවල ලේකම්වරු, දිසාපතිවරු, රාජ්‍ය යාන්ත්‍රණය සමග මුසු කර ක්‍රියා කළ විට තමයි මහජනයාට විශාල සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා මෙවන් තත්ත්වයක් ඇති වන බව ඒ විශේෂඥයන් දැනුම් දෙනවිට ආරක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය කැඳවන්න ඕන, ඉන්පසුව ආපදා කළමණාකරන කමිටු රැස්වෙන්න ඕන, ඒ වගේ ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ අවශ්‍ය කරන අනෙක් සංවිධාන සියලු දෙනා ම ඒ සඳහා කැඳවන්න ඕන. එතකොට තමයි මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ.
''මෙහෙම සල්ලි කවදාවත් දීලා නෑ'' කියන්නෙ බොරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ඊ) යන්නේ සඳහන් වන්නේ, ''ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද'' යන්නයි. එම වගන්තිය අනුව මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කිරීම ඉතා වැදගත්.
නමුත් අපිට පේනවා විවිධ අදහස් ප්‍රකාශ කරනවා. කිසිම ආණ්ඩුවක් කිසිම දෙයක් කළේ නෑ කියනවා. මං හිතන්නේ ඒක එහෙම කියන්න හොඳ නෑ. සෑම ආණ්ඩුවක් ම මේ වැඩකටයුතු කළා. අපි පාලනය කරන අවස්ථාවල මෙවැනි ප්‍රශ්න ආවම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුවත් ඇවිල්ලා වැඩ කළා. අපි ඒ සඳහා ඉඩ දුන්නා. අපි ඒකට බාධා කළේ නෑ. ඒ සියලු දෙනාගේ සහය මෙවැනි අවස්ථාවල ඉතා වැදගත්.
උදාහරණයක් හැටියට අපි දකිනවා සමහර අය කියනවා මෙහෙම සල්ලි කවදාවත් දීලා නෑ කියලා. මම දන්නවා විශේෂයෙන් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා මහා ගං වතුරින් විනාශ වුණා. ඒ අය රක්ෂණයෙනුත් මුදල් ගත්තා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා තෑගි මුදලුත් ලබා දුන්නා. සමහර කර්මාන්ත ශාලාවලට ලක්ෂ 100 ය, 200 ය දුන්නා. ඉල්ලනවා නම් මට පුළුවන් ලැයිස්තු දෙන්න කොයි කර්මාන්තශාලා ද ඒ මුදල් අරන් දියුණු වුණේ කියලා. ඇතැම් අය රක්ෂණයෙනුත් සල්ලි ගත්තා, තෑගි මුදලුත් ගත්තා, කෙසේ හෝ ඉක්මනින් ඒ අය යළි නැගිට්ටා.
රක්ෂණයෙන් පමණක්ම මේ අයට නැගිටින්න බැහැ. රක්ෂණය කරන්නෙ සම්පූර්ණ ප්‍රමාණය නෙමේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙලාවේ ගබඩාවල තිබුණු තේ කිලෝ 40,000 ක් පමණ පෑලියගොඩ පැත්තේ අහිමි වෙලා තිබෙනවා. රක්ෂණයෙන් කොටසක් ලැබෙයි. අනෙක් ආයතනත් ඒවා දිහා බලන්න තිබෙනවා.
සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න කඩිනමින් පියවර ගත යුතු යි
සම්පූර්ණ සතුන් ගණන් බැලුවොත් ලක්ෂ 100 ක් පමණ නැතිවෙලා තිබෙනවා.
දැන් අපි උදාහරණයක් ගත්තම සතුන් කොච්චර මැරුණද? බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් පමණ මිය ගියා. ඒ වගේම සම්පූර්ණ සතුන් ගණන් බැලුවොත් ලක්ෂ 100 ක් පමණ නැතිවෙලා තිබෙනවා. අපට පේනවා: හරක්, එළුවෝ, වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. තවමත් ඡායා රූප දකිනවා ෆේස්බුක් තුළත් මේ දේවල් සංසරණය වෙනවා. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු ඇතුලු සියලුදෙනා එකතුවෙලා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න කඩිනමින් පියවර ගන්න ඕන. නැත්තම් මේ තත්ත්වය වසංගත රෝග බෝ වීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්.
රාජ්‍ය යාන්ත්‍රණයට නිසි උපදෙස් ලබාදුන්නොත් මිය ගිය සංඛ්‍යාව පැය 72ක දී කියන්න පුළුවන්
දැන් ගොඩක් අය මිය ගිය සංඛ්‍යාව පිළිබඳව සිතමින් ඉන්නවා. අපිට මතකයි 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා අපේ රටට සුනාමිය ආවා. 28, 29 වනවිට මිය ගිය ප්‍රමාණය නිවැරදිව ඉදිරිපත් කළා. හොඳ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ග්‍රාම නිළධාරින් 14,000ක්, සංවර්ධන නිලධාරීන් 17,000 ක් පමණ, කෘෂි පර්යේෂණ නිලධාරීන්, සමෘද්ධි නිළධාරින් ඇතුලු දහස් ගණනක් රාජ්‍ය සේවකයින් අපේ රාජ්‍ය සේවය තුළ කටයුතු කරනවා.
ඒ විතරක් නෙමෙයි දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු ප්‍රධාන කොටගෙන පවුල් සෞඛ්‍ය සේවිකාවෝ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුළු අති විශාල දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණයට නිසි උපදෙස් ලබාදුන්නොත් මිය ගිය සංඛ්‍යාව පැය 72 දී කියන්න ඒ අයට පුලුවන්. ලැයිස්තු තිබෙනවා, ඒ ලැයිස්තු ග්‍රාම නිළධාරී කාර්යාලයත් එක්කම ගහගෙන ගියත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගං වතුරට ගහගෙන ගියත් කොළඹ ඒ සියලු තොරතුරු තිබෙනවා. එසේ නම් මේ තොරතුරු ඉදිරිපත් කරනවද? නැද්ද? යන්න කියන එක බලන්න යන්නේ පැය 72 ක් පමණ කාලයක්. ඒක ඉතාම සරල කාරණයක්. මිය ගිය සංඛ්‍යාව වැදගත් වෙනවා ආධාර ලබා ගැනීමේදී. ඒ වගේම මින් අසරණ වූ අය යළි නැගිට්ටවන්න තිබෙනවා. මේ තොරතුරු හරියට ඉදිරිපත් කළොත් තමයි ආධාර දෙන කණ්ඩායම්වලට වගේම මීට සමගාමීව ක්‍රියාත්මක වන අනෙක් යාන්ත්‍රණවලටත් ඔවුන්ගේ කටයුතු ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙන්නේ.
රජයට තිබුණේ ජලය කළමනාකරණය කිරීම පමණයි
ඒ වගේම තව විශේෂ දෙයක් අපි දකිනවා. උදාහරණයක් හැටියට බොහෝ අය මේ ජලාශ ගැන විවිධ මත පල කරනව. ඇතැම් අය කියනවා පරාක්‍රමබාහු රජතුමා ඇතුළු අපේ අනෙකුත් රජවරු මේ ජලාශ ඉදි කරපු එක වරදක් කියලා. මුලින් ම මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා.
ජල කළමනාකරණය ලෝකයෙත් තිබෙනවා, ලංකාවෙත් තිබෙනවා. ඉතිහාසය ගත්තොත් අපේ රට පාලනය කල රජවරු විශාල ප්‍රමාණයක් රටේ වැව්, ජලාශ ඉදි කළා. ඒ අය මේ දේවල් ඉදි කළේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒ වගේම 1977 න් පසුව එක්සත් ජාතික පක්ෂයත් මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජලය කළමණාකරණය කරමින් විශාල ජලාශ ඉදි කළා. ඊට පසුවත් තවත් ජලාශ ඉදි කළා. කොහොමහරි මේ අයට තිබුණේ ඒ දේවල් කළමනාකරණය කරන්න විතරයි.
නිලධාරීන්ට දොස් පවරා ඵලක් නෑ
මේ සඳහා ජලාශවල ජල කළමනාකරණ ඒකක තිබෙනවා. මේ ජල කළමනාකරණ ඒකක විවිධ මට්ටමේ තිබෙනවා. මහවැලියේ ජල කළමනාකරණ ඒකකයක් තිබෙනවා. වාරි මාර්ගයේ ජල කළමානාකරණ ඒකකයක් තිබෙනවා. ආපදා කළමනාකරණයේ තවත් ජල කළමනාකරණ ඒකකයක් තිබෙනවා. නමුත් ඉතිහාසයේ කවදාවත් නැති විදියට අපේ රටට මිමි 300 ට ඒ වගේම මිමි 560ට වැඩි විශාල වර්ෂා පනතනයක් ලැබුණා. මේ නිසා විශාල ජල කඳක් අපේ ජලාශවලට එකතු වුණා. මේ ජල කඳ හසුරුවන්න තනියම මහවැලියට බෑ, තනියම වාර්මාර්ගයට බෑ, ඒවායේ ඉන්න නිලධාරීන්ට දොස් කියලා වැඩකුත් නෑ. එහෙනම් මේ සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. ඒකාබද්ධ මෙහෙයුමේ දී කවුරු හරි පාඩු වෙන ලාභ වෙන තීරණ ගන්න ඉදිරිපත් වෙන්න ඕන. එහෙම ඉදිරිපත් වුණා නම් මීට වඩා ජලය කළමනාකරණය කරගන්න තිබුණා.
මියගිය සියලු දෙනාට නිවන් සුව...!
කෙසේ හෝ දැන් වුණ විනාශය වෙලා ඉවරයි. ඒ විනාශයෙන් නැගිටින්න නිවැරදි පාරේ ගමන් කරන්න ඕන. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපතිතුමා පක්ෂ නායකයන් කැඳවා ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග විරුද්ධ පක්ෂයක් හැටියට සාකච්ඡා කළේ. ඉතින් ඒ අනුව ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ අවස්ථාවේ දී බෞද්ධයන් හැටියට මේ ආපදාව හේතුවෙන් මියගිය සියලු දෙනාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.''
වීඩියෝ

