ලෝක බැංකු ව්‍යාපෘතිය සඳහා වූ වාහන සැලැස්මෙන් මහජන සෞඛ්‍යයේ ව්‍යුහාත්මක හිඩැස් පිළිබිඹුවේ

ලෝක බැංකු ව්‍යාපෘතිය සඳහා වූ වාහන සැලැස්මෙන් මහජන සෞඛ්‍යයේ ව්‍යුහාත්මක හිඩැස් පිළිබිඹුවේ

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක් දැවැන්ත වාහන මිලදී ගැනීමේ වැඩසටහනක් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරහා, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දීර්ඝ කාලයක් තිස්සේ රහසක්ව පැවති සත්‍යයක් අනාවරණය වී තිබේ.

එනම්, මහජන සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යනු ලබන්නේ අස්ථාවර සහ අභ්‍යන්තරිකව බිඳ වැටුණු පද්ධතියක් මත බවත්, ප්‍රජා සත්කාරක සේවාවන් සැපයීමේදී සෞඛ්‍ය සේවකයන්ට තම සේවාලාභීන් වෙත ළඟා වීමට අවශ්‍ය මූලික පහසුකම් හෝ මෙවලම් පවා නොමැති බවත්ය.

"මූලික සෞඛ්‍ය පහසුකම් පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (2024–2028)" යටතේ සිදු කරන ලද මෙම පියවර හරහා රජය උත්සාහ කරන්නේ, ලෝක බැංකුව මුලින් අදහස් කළ ප්‍රතිසංස්කරණ ලබා දීමට වඩා, වසර ගණනාවක් තිස්සේ පැවති නිදන්ගත නොසලකා හැරීම් වසා ගැනීමට සංවර්ධන අරමුදල් භාවිතා කිරීමද යන ප්‍රශ්නය මතු කර ඇත.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ බෝ නොවන රෝග පාලනය කිරීම, වැඩිහිටි සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණයට ඔරොත්තු දෙන සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමයි.

නමුත් ස්කූටර් සහ යතුරුපැදිවල සිට සායනික අපද්‍රව්‍ය බැහැර කරන ලොරි රථ, ඩබල් කැබ් රථ, ශීතකරණ ට්‍රක් රථ සහ ගිලන්රථ බෝට්ටුවක් දක්වා වූ වාහන 4,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීමෙන් වඩාත් බරපතල යථාර්ථයක් පෙන්නුම් කරයි:

ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ජාලය කෙතරම් දුර්වල වී ඇත්ද යත්, වෛද්‍ය විශේෂඥභාවය, රෝග විනිශ්චය කිරීමේ හැකියාව හෝ තාක්‍ෂණය නොව, මූලික ප්‍රවාහන පහසුකම් නොමැතිකම සත්කාරක සේවාවන් සැපයීමට ඇති ප්‍රධානතම බාධාව බවට පත්ව ඇත.

ක්ෂේත්‍ර නිලධාරීන් පවසන පරිදි, වින්නඹු මාතාවන් ගැබ්බත් මව්වරුන් සොයා සැතපුම් ගණන් පයින් ගමන් කරන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යතුරුපැදි ඉල්ලා ගන්නා සහ හෙදියන් රෝග පැතිරීම් පාලනයට හෝ නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට අක්‍රමවත් පොදු ප්‍රවාහනය මත යැපෙන තත්ත්වයක් පවතී.

මේවා හුදෙකලා සිදුවීම් නොව, දේශපාලන පාලනාධිකාරීන් විසින් මෙහෙයුම් අත්‍යවශ්‍යතා සඳහා අඛණ්ඩව මුදල් වෙන් නොකිරීම නිසා නිදන්ගතව දුර්වල වූ පද්ධතියක රෝග ලක්ෂණ වේ.

මෙම මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම සාධාරණ බව පවසන රජයේ නිලධාරීන් තර්ක කරන්නේ ප්‍රවාහන පහසුකම් නොමැතිව ලෝක බැංකුවේ අරමුණු ඉටු කර ගත නොහැකි බවයි. ඔවුන්ගේ මතය අනුව, මෙම වාහන සමූහය ප්‍රමාද වී හෝ ලැබුණු ආයෝජනයක් වන අතර එය ප්‍රජා මූලික සත්කාරක සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භෞතික පදනමකි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ මෙම තර්කය වඩාත් බරපතල ප්‍රශ්නයක් මතු කරයි: විදේශීය ණයවලින් මිලදී ගන්නා ආනයනික වාහන මත පමණක් පෙරටුගාමී සේවාවන් රඳා පවතින මට්ටමට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටුණේ ඇයි?

මහජන සෞඛ්‍ය ප්‍රතිඵල ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහනදායී ණය පහසුකමක් (IDA credit) මහා පරිමාණ ආනයන වැඩසටහනක් ලෙස පෙනෙන දෙයක් සඳහා භාවිතා කිරීම, ව්‍යාපෘතියේ අඛණ්ඩතාවයට හානි කළ හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණයේ සිට හදිසියේ වාහන අත්පත් කර ගැනීම දක්වා වූ මෙම මාරුවීම ලෝක බැංකුවේ අනුමත නිර්ණායක සමඟ සම්පූර්ණයෙන්ම නොගැලපෙන බවත්, ව්‍යාපෘතියේ අරමුණු වෙනස් වී ඇත්නම් අනුකූලතා පරීක්ෂාවන් (compliance scrutiny) සිදුවිය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.

ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් ක්‍රියාවලීන්හි පවතින මිල ගණන් ඉහළ දැමීම, දේශපාලනික හිතවත් සැපයුම්කරුවන් තෝරා ගැනීම සහ මහා පරිමාණ මිලදී ගැනීම්වලදී පවතින දුර්වල අධීක්ෂණය හේතුවෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ද ගැටළු පවතී.

සාමාන්‍ය වාහන ප්‍රතිස්ථාපන චක්‍රයන් ඉක්මවා යන මෙම විශාල වාහන සමූහය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ විශ්ලේෂකයින් විමතිය පළ කර ඇති අතර, ව්‍යාපෘතිය අවසන් වූ පසු මෙම මිල අධික උපකරණ අඩුවෙන් භාවිතා කිරීම හෝ දුර්වල නඩත්තුවට ලක්වීම සිදුවිය හැකි බවට ඔවුහු බිය පළ කරති.

කෙසේ වෙතත්, මෙම මතභේදය හරහා හෙළිවන්නේ කටුක සත්‍යයකි: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ අසාර්ථකත්වය සුළුපටු එකක් නොව, එය මූලික පදනමෙන්ම අසාර්ථක වී ඇත.

වාහන මගින් පෙරටුගාමී සේවකයන්ට රෝගීන් වෙත ළඟා වීමට තාවකාලිකව උපකාර විය හැකි නමුත්, රෝග විනිශ්චය, කාර්ය මණ්ඩල හිඟය, ප්‍රජා සෞඛ්‍ය සැලසුම්කරණය සහ දිගුකාලීන රෝග වැළැක්වීමේ උපාය මාර්ගවල ඇති ගැඹුරු අඩුපාඩු විසඳීමට ඒවාට පමණක් නොහැකිය.

මෙම ප්‍රසම්පාදනය සැබෑ ප්‍රතිසංස්කරණ, විධිමත් අධීක්ෂණය සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රතිඵල රාමුවක් සමඟ ඒකාබද්ධ නොවන්නේ නම්, ව්‍යුහාත්මක සෞඛ්‍ය දියුණුවක් සඳහා ලැබුණු මෙම දුර්ලභ අවස්ථාව, ණයට ගත් මුදලින් සිදු කළ තවත් එක් තාවකාලික විසඳුමක් (band-aid solution) බවට පත්වීමේ අවදානමක් ශ්‍රී ලංකාවට ඇත.

මුල් පුවත :

“Vehicle Plan for WB project Reflects Structural Gaps in Public Health”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න