අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි - අගමැති

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි - අගමැති

අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දෙසැම්බර් 13 වෙනිදා නුවරඑළිය නගර සභාවේ “සෙනිසිටා” ශාලාවේ දී නුවරඑළිය දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාව අමතමිනි.

ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමක් ඇදගෙන එන්න

දිවයිනේ පාසල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ ද ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ පළාත් සහ දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල් ආරම්භ කිරීමට පෙර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබා ගත යුතු බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බවත් පැවසූ එතුමිය දුෂ්කරතාවලට මුහුණ දුන් ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමක් පැළදීමේ අවස්ථාව ලබා දිය යුතු බව ද සඳහන් කළා ය.

සියලු දෙනා එක්ව අභියෝග ජය ගත යුතු යි

කුමන බාධක මධ්‍යයේ වුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත්, ඊට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කිරිමේ කටයුතු 51% කින් අවසන් බවත් දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරින් විසින් ප්‍රකාශ කළ අතර, අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසුව රට පෙරටත් වඩා ඉදිරියට ගෙන යාමට නම් සියලු දෙනා එක්ව අභියෝග ජය ගත යුතු බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි, අනුෂ්කා තිලකරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගී වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න