ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට වෙනස්කම් සිදුකරමින් පක්ෂ සභාපතිවරයාගේ හෝ නායකයාගේ අධිකාරිය සැළකිව යුතු ලෙස කප්පාදු කර ඇති බව පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න පවසයි.
පක්ෂ නායකයාට මීට පෙර ඕනෑම සාමාජිකයකු බඳවා ගැනීමට හෝ ඉවත් කිරීමට බලය තිබුණද, දැන් එවැනි තීරණ ගත යුත්තේ දේශපාලන මණ්ඩලයේ එකඟතාවයෙන් පමණක් බව ඔහු සඳහන් කළේය.
“පක්ෂ නායකයාට සාමාජිකයන් සහ නිලධාරී මණ්ඩලය බඳවා ගැනීමට හෝ ඉවත් කිරීමට තවමත් බලය තිබෙනවා. හැබැයි දැන් එවැනි තීරණ ගත යුත්තේ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ඇතිව පමණයි. මීට පෙර, පක්ෂ නායකයාට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාම පත් කරන්න පුළුවන්කම තිබුණා. ඔහුට හෝ ඇයට තමාට විරුද්ධ වන ඕනෑම අයෙකු නෙරපා හැරලා ඔවුන් වෙනුවට පක්ෂපාතී අය පත් කරගන්න හැකියාව තිබුණා. දැන්, නායකයාට දේශපාලන මණ්ඩලයට පත්කරගන්න පුළුවන් සාමාජිකයන් හත් දෙනෙක් පමණයි, එය කළ යුත්තෙත් අනෙකුත් සාමාජිකයන් සමඟ සාකච්ඡා කරලා. ඉතිරි සාමාජිකයන් අට දෙනා එම තනතුරු දරන්නේ මහලේකම්, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික සහ වෙනත් ඔවුන්ගේ තනතුරු නිසයි,‘ ලසන්ත අලගියවන්න පවසයි.

