ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජීවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණ සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (16) එබව කියා සිටියේ, ලොව දෙවැනි පැරණිතම ගුවන් විදුලි ආයතනය සහ ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) සියවස් සැමරුම ට සහභාගි වෙමිනි.
මෙරට විදත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහිලා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබුණි.
ඒ අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම සංස්ථාවේ ප්රගමනයට දායක වූ සම්භාවනීය මාධ්‍යවේදීන්, ඉංජිනේරුවරුන්, ප්‍රවීණයන් සහ විද්වතුන්, නිවේදකයින් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් ඊයේ (16) මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම සහ අෂ්ඨ පරිෂ්කාර ඇතුලු සෙසු පිරිකර පුජා කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දී සිදු විය.
ඉදිරි දශකයේ වැදගත් පෙරළිකාර නවීකරණයක් කළ යුතුයි
අෂ්ඨ පරිෂ්කාර අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය විෂයෙහි අනුශාසනා ත්‍රිත්ත්වයක් සිදු කළ පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වී ය. එම අදහස් දැක්වීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ මෙය ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවක් බවත්, මෙරට ජනතාවගේ ජිවිතවලට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් සමග අත් නොහළ හැකි බැදීමක් පවතින බව යි.
ප්‍රෞඪ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තරගයක් නොවන බවත්, මෙරට සියලු මාධ්‍ය ආයතනවලට ගුණාත්මක දර්ශකයක් සකස් කිරීමේ වගකීම පවතින බව ද පෙන්වා දෙන ලද අතර, ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරී මණ්ඩලය සමග 350 ක් පමණ වන කාර්ය මණ්ඩලයට ඉදිරි දශකයේ වැදගත් පෙරළිකාර නවීකරණ සිදු කිරීමේ වගකීමක් තිබෙන බවත් එය අභියෝගයක් වන බව ද පැවසී ය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තාරකා මේධාවි දිසානායක ඇතුළු සංස්ථාවේ ප්රගමනයට දායක වූ සම්භාවනීය මාධ්‍යවේදීන්, ඉංජිනේරුවරුන්, ප්‍රවීණයන් සහ විද්වතුන්, නිවේදකයින් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
(දීප්ති විජේතුංග


