"Rebuilding Sri Lanka" කළමනාකරණ කමිටුව පත්කිරීම නීති විරෝධි යැයි සඳහන් කරමින් නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග අද (17) ජනාධිපති ලේකම් වෙත සංදේශයක් බාර දුන්නේ ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මාධ්‍ය වෙත පළ කළ අදහස් සහ එම සන්දේශයේ අන්තර්ගත කරුණු ය.
සියලු ප්‍රතිසංස්කරණ කටයුතු පැවරිය යුත්තේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට
" දිට්වා" සුළි කුණාටුවෙන් රටට සිදුවු අතිවිශාල හානියෙන් පසු අප රට නැවත ගොඩනගා ගැනීම සඳහා රජය විසින් Rebuilding Sri Lanka නමින් අරමුදලක් ඇති කරන ලදී. නමුත් මෙවැනි ව්‍යසනයක දී 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතට යටත්ව ව්‍යසන වැළැක්වීමට සහ ලිහිල් කිරීමට අදාළ වැඩසටහන් ආරම්භ කීරිම සහ සහන පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසීම මුළුමනින් ම අයත් වන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට යි. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත උල්ලංඝණය කරමින් ඊට පරිබාහිරව Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීම නීති වීරෝධි බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
රජය වෙනුවෙන් අරමුදල් එකතු කිරීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට නෛතික බලයක් නැහැ
2005 අංක 13 දරණ පනතේ 16 සිට 18 දක්වා වගන්ති වල ඉතා පැහැදිලිවම සඳහන් වන්නේ අරමුදල් එකතු කිරීම සහ පවත්වා ගෙන යෑමේ බලය ඇත්තේ එම සභාවට බවයි. තවද පනතේ 18 වන වගන්තිය අනුව අදාල අරමුදල් විගණනය කළ යුතු බවට නියමයක් ඇත. ඒ අනුව ව්‍යසන කළමනාකරණයට හා පුනරුත්ථාපනය සඳහා රජය වෙනුවෙන් අරමුදල් එකතු කිරීමට සහා පරිපාලනය කිරීමට නෛතික බලයක් Rebuilding Sri Lanka අරමුදලට නොමැති බව ප්‍රකාශ කර සිටියේ ය. තව ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස මෙම අරමුදල පිහිටුවා ඇති අතර එහි සාමාජිකයින් ලෙස මෙරට ප්‍රබල ව්‍යාපාරිකයින් පිරිසක් පත් කිරීමද අරමුදලේ විනිවිදභාවය (Transperancy) හා වගවීම (Accountability) පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් උද්ගත කරනු ඇත.
එහි සාමාජිකයින් ලෙස:
1. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්
2. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම
3. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
4. විදේශ කටයුතු විදේශ රැකියා සහා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපීය සහා උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න
5. හේලිස් සමුහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ
6. ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
7. එයිට්කන් ස්පෙන්ස් උප සභාපති පරාක්‍රම දිසානායක
8. බ්‍රැන්ඩෙකිස් සමුහයේ ප්‍රධාන විධායක නිළධාරි අෂ්රොෆ් ඔමාර්
9. LoLC විධායක සභාපති ඉෂාර නානායක්කාර ඇතුළු පිරිසක් පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
ඒ අනුව Rebuilding Sri Lanka අරමුදලේ වගකීම් ලෙස:
* අරමුදල ඵලදායි ලෙස කළමනාකරණ කිරීම
* අවශ්‍යතා තක්සේරු කිරීම
* ප්‍රමුඛතා සැකසීම
* අරමුදල් වෙන් කිරීම
* අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම දැක්විය හැකි ය.
යහපාලන මුලධර්ම (Good Governence) අමු අමුවේ උල්ලංඝණය කීරිමක්
ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ වගකීම් හා Rebuilding Sri Lanka අරමුදලේ වගකීම් අතර ගැටුමක් ඇතිවන අතර එය යහපාලන මුලධර්ම (Good Governence) අමු අමුවේ උල්ලංඝණය කීරිමක් බව තරයේ ප්‍රකාශකර සිටියේ ය. විශේෂයෙන් ම රටේ උත්තරීතර ආයතනය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පනතක් ආණ්ඩුව විසින් අමු අමුවේ බරපතල ලෙස උල්ලංඝණය කල බව ද ප්‍රකාශ කර සිටියේ ය.
අදාළ පනත යටතේ පිහිටුවා ඇති ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට මෙම ආපදා කළමනාකරණය බාර ව ඇත. මෙහි සභාපති ධුරය නිල බලයෙන් ජනාධිපතිවරයාට හිමිවන අතර අගමැතිවරයාට උප සභාපති ධුරය නිල බලයෙන් හිමිවේ. විපක්ෂ නායකවරයා ද මෙම ජාතික සභාවේ සමාජිකයෙකු වන අතර ඔහු විසින් නම් කරණ තවත් නියෝජිතයින් පස් දෙනකු ද මෙම සභාවේ ඇතුළත් වේ. ඔවුන්ට අමතරව ආපදාවක දී වැදගත් වන:
* මහාමාර්ග
* විදුලිබලය
* පොලිසිය
* ඉඩම්
* ධීවර ඇතුළු විෂයන් 20 කට අදාළ විෂය භාර අමාත්‍යවරුද මෙම ජාතික සභාව නියෝජනය කරයි.
වැළැක්විය නොහැකි පෞද්ගලික නැඹුරුතා
ඒ අනුව Rebuilding Sri Lanka අරමුදලට පත් කළ ව්‍යාපාරිකයින්ගේ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව අවස්ථා කිහිපයක දී ගැටළු කාරි තත්ත්වයක් ඇති වු බව ද මෙම අවස්ථාවේ දී ද ඔවුන් තමන්ගේ ව්‍යාපාරික අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා මෙම අරමුදල අවභාවිතා කළ හැකි බව අප තරයේ විශ්වාස කරමු. විශේෂයෙන්ම ඉදිරියේ දී මෙම ව්‍යාපාරිකයින්, ආපදාවට ලක් වූ නිවාස සහ වෙනත් යටිතල පහසුකම් සම්බන්ධ කොන්ත්‍රාත් තම හිතවත් ඉදිකිරීම් සමාගම්වලට ලබා දීම සඳහා පෞද්ගලික නැඹුරුතාවෙන් කටයුතු කරනු ඇති බව ද තවදුරටත් අපි විශ්වාස කරන බව ප්‍රකාශ කර සිටියේ ය. එබැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වග කියනු නොලබන මෙවැනි ව්‍යාපාරිකයින් මෙම Rebuilding Sri Lanka අරමුදල කළමනාකරණය කිරීමට පත් කිරීම නීති විරෝධි බව ද ප්‍රකාශ කර සිටියේය.
එම නිසා මේ සම්බන්ධව ඔබතුමන් විසින් නිවරදි නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයන් ගෙන කටයුතු කරන ලෙසත් මෙම පිරිසගේ වත්කම් බැරකම් රටට හෙළි කරන ලෙසත් නව ජනතා පෙරමුණ වන අප විසින් ඉල්ලා සිටින බව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

