අනුරාධපුර, මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී අලියෙකුට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසේ.
එම අලියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිතව ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කිසියම් පිරිසක් විසින් සීප්පුකුලම අඹගහවෙලදී එම සත්ත්වයාට ගිනි තබා ඇති අතර පෙරේදා (දෙසැ. 16) උදෑසන වන විට ඒ ආසන්න පෞද්ගලික ඉඩමක අසාධ්‍ය තත්ත්වයෙන් වැතිරී සිටිනු දක්නට ලැබිණි.
එම අලියාගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබී ඇති අතර ඉදිරිපස එක් කකුලක් වෙඩි වැදීමෙන් වූ තුවාලයක් හේතුවෙන් ආබාධිතව පැවති බව පැවසේ.
අනුරාධපුර වන අඩවි ඒකකයේ සහ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙන් ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන අතරතුර සත්වයා මරණයට පත්ව ඇත.
සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම්
පිලිස්සූ පුද්ගලයා කවුරුන්දැයි සෙවීමට යුද හමුදා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් සමග අනුරාධපුර වනසත්ව අඩවි කාර්යාලයයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම අලියා පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි වම් පාදයට වෙඩිවැදී සිටි මෙම අලියාගේ වයස අවුරුදු 50 ත් 55 ක් පමණ වන අතර, උස අඩි 09 ක් පමණ වේ. අලියා ඉකුත් 15 වැනිදා රාත්‍රි මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු අලියා පන්දම්වලින් පුලුස්සා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.
වෙඩි වැදීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන්, සිටි මෙම අලියාට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති ඇතුළු නිලධාරීන් ප්‍රතිකාර කළේය. නමුත්, අලියා (16 වැනිදා) මිය ගියේය.
අලියාගේ මරණය සම්බන්ධව පොලිසිය විසින්ද පරීක්ෂණයක් සිදු කරන බවත්, වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා උපරිම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසුවේය.
මෙම අලියාගේ මරණයත් සමග මේ වසරේ වාර්තා වූ අලි මරණ සංඛ්‍යාව 392 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ගිනි තැබීම නිසා මිය ගියා යැයි සැකකෙරෙන වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17 වැනිදා) මිහින්තලය සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ දී සිදුවිය.
මරණ පරීක්ෂණය ආරම්භවීමෙන් අනතුරුව අදාළ සිදුවීම වීඩියෝ ගත කළ තරුණයාගෙන් සහ තවත් කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන්කර ගැනීමේ කටයුත්ත මිහින්තලය පොලිසිය විසින් ඊයේ ආරම්භ කරන ලදී.

