අයහපත් කාලගුණික තත්ත්වයක් ; මධ්‍යම පළාතේ සියලු පාසල් යළි තාවකාලිකව වසා දමයි

අයහපත් කාලගුණික තත්ත්වයක් ; මධ්‍යම පළාතේ සියලු පාසල් යළි තාවකාලිකව වසා දමයි

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 36 දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩිවිය හැකි බව ද සඳහන් වේ.

එමෙන්ම ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොළඹය හා උල්හිටිය ජලාශවල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළු ඔයේ ජල ධාරිතාවද සෘජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙස එම අධිකාරිය දැනුම් දී ඇත.

එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී එම ජලාශ ද වාන් දැමිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස මහවැලි අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

විශේෂයෙන්ම කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට අවදානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.

එබැවින්, ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්

මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ ඉන් නිවාස 3කට හානි සිදුවී ඇති බවය.

ප්‍රදේශයේ පැවති වර්ෂාපතනයත් සමග අද පෙරවරුවේ මෙම නායයෑම සක්‍රිය වි ඇති බව ද සඳහන් වේ.

පැවති අවදානම් තත්ත්වය හේතුවෙන් ඒ අසල පිහිටා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක සිටි පවුල් 90ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න