සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන නව සංශෝධන කිහිපයක් සමඟ 2025/26 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, එමගින් රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සෞඛ්‍ය සහ අනතුරු රක්ෂණ ප්‍රතිලාභ සලසනු ලබයි.
මෙතෙක් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් ගැටලු සැලකිල්ලට ගනිමින්, සංශෝධන සහිතව 2025/26 වර්ෂය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ප්‍රධාන සංශෝධන මෙසේය:
2025/26 වර්ෂයට අදාළව ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026 අගෝස්තු 31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
• දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබාදීමේදී සලකා බැලෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රු. 180,000/- සිට රු. 240,000/- දක්වා සංශෝධනය කිරීම.
• කොඳුඇටපෙළ විකෘතිතා නිවැරදි කිරීම සඳහා භාවිත කරන Scoliosis Brace උපාංග සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රු. 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබාදීම.
• අසාධ්‍ය රෝග සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දිගුකාලීනව ඖෂධ ලබාගන්නා සිසුන්ට රු. 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබාදීම.
• අසාධ්‍ය රෝග කාණ්ඩයට Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary Spherocytosis සහ Sickle Cell Anemia යන රෝග 05ක් අලුතින් එක් කිරීම.
• 2025 සැප්තැම්බර් 01 දින සිට ප්‍රතිලාභ ලබාගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකට බාරදීමට අවස්ථාව සැලසීම.

