යුනිසෙෆ් සංවිධානය BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගයක් පිරිනමයි

යුනිසෙෆ් සංවිධානය BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගයක් පිරිනමයි

ආපදාව හේතුවෙන් පෝෂණ අවදානමට ලක්ව ඇති දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කර ගැනීමට යුනිසෙෆ් ආයතනය මෙරටට අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ප්‍රදානයක් සිදු කිරීම කාලීනව අතිශය වැදගත් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන් ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිත කිරීමට සූදානම් කළ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ඇසුරුම් 1500ක් යුනිසෙෆ් සංවිධානය ඊයේ (23) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී භාර දුන්නේ ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගය නිල වශයෙන් භාර දෙන ලද්දේ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් (Ms Emma Brigham) විසිනි.

අතිරේක ශක්ති ජනක පරිපූරක ආහාරයක්

මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන් ගේ මන්දපෝෂණ (MAM) ගැටලු විසඳීම සඳහා සකස් කළ විටමින් සහ ඛණිජ ලවණවලින් අනූන අතිරේක ශක්තිජනක පරිපූරක ආහාරයක් ලෙස භාවිත කිරීමට හැකියාව ඇත.

නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල සහ කිලිනොච්චි ඇතුළු අවතැන් වූ පවුල් සිටින සහ මන්දපෝෂණයේ වැඩි අවදානමක් ඇති කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල ප්‍රජාව ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්ක 19 කට BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර බෙදා හැරීමට දැනට සැලසුම් කර ඇති බව මෙහි දී අනාවරණය කළේ ය.

BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර යනු ශක්තිය සහ පෝෂණය වඩන ආහාරයකි. එය ධාන්‍ය සහ එළවළු ප්‍රෝටීන් මත පදනම් වන අතර, ග්‍රෑම් 500 ක පැකට්ටුවකට බාර් 9 ක් බැගින්, හදිසි අවස්ථාවල දී භාවිත කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති බවට මෙහි දී හදුන්වා දෙනු ලැබීය.එමෙන්ම අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත්, එය සෘජුවම හෝ කැඳ ලෙස ද අනුභව කළ හැකි ආහාරයක් බව ද මෙය ආපදා අවස්ථාවන්හි දී හදිසි බෙදා හැරීම සඳහා ඉතා හොඳින් ගැළපෙන අමතර ආහාරයක් බව ද මෙහිදී සඳහන් විය.

මෙම ආහාර ප්‍රධානය ඉතා වැදගත් - සෞඛ්‍ය අමාත්‍යවරයා

මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ මෙරට දරුවන් ගේ පෝෂණය පිළිබඳ අභියෝගයක් පවතින යුගයක සහ හදිසි ආපදාවකට මුහුණ දුන් අවස්ථාවක මෙම කිලෝ 20,000 ක අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ප්‍රදානය මෙරටට අතිශය වැදගත් බවයි.

පෝෂණය සම්බන්ධයෙන් ගැටලු පවතින දිස්ත්‍රික්කවල ආපදාව හේතුවෙන් එම තත්ත්වය තවත් බැරෑරුම් වූ බව ද එම ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ද පවත්වාගෙන යෑමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙවන් තත්ත්වයක් යටතේ දැනට භාවිතා කරනු ලබන ත්‍රිපෝෂ අතිරේක ආහාර ද ප්‍රමාණවත් නොවන බැවින් යුනිසෙෆ් සංවිධානය BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ලබාදීම අවධානමට ලක්විය හැකි දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් තවදුරටත් පිරිහීම වැළැක්වීමට තීරණාත්මක මැදිහත්වීමක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පශ්චාත් ආපදා තත්ත්වය තුළ මාතෘ හා ළමා පෝෂණය ආරක්ෂා කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය දැක්වූ මෙම දායකත්වය සහ අඛණ්ඩ හවුල්කාරීත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

BP5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ශ්‍රී ලංකාවේ භාවිතා කරන පළමු අවස්ථාව

යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මෙහි දී කියා සිටියේ ගෝලීය විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් සහ මෙරට දේශීය අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින්, මධ්‍යස්ථ මට්ටමේ උග්‍ර මන්දපෝෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ BP5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර භාවිත කරන පළමු අවස්ථාව මෙය වන බවයි. ඉතා තීරණාත්මක මොහොතක කාලෝචිත සහ ප්‍රායෝගික ප්‍රතිචාරයක් දැක්වීමට හැකියාව ලැබුණ බව ද ඇය මෙහිදී පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරන මෙම බෙදා හැරීම් සමඟ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර යනු කුමක් ද සහ එම ආහාර භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් භාෂා ත්‍රිත්ත්වයෙන්ම සිදු කරන බව යුනිසෙෆ් නිලධාරීන් මෙහි දී සඳහන් කලේ ය.

මෙම හදිසි පෝෂණ සැපයුම් සඳහා ජර්මානු යුනිසෙෆ් ජාතික කමිටුවේ සහයෝගය ද ලැබී ඇත.

මෙම ද්‍රව්‍ය මනා ලෙස බෙදා හැරීම සදහා යුනිසෙෆ් ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එක්වනු ඇත.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, මෙරට ජර්මානු කාර්යාලයේ ප්‍රධානී සාරා හැසල්බාර්ත්, (Ms Sarah Hasselbarth) යන අය ඇතුළුව ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න