ආණ්ඩුවට සහය දෙන්න අපි සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල

ආණ්ඩුවට සහය දෙන්න අපි සූදානම් - ලක්ෂ්මන් කිරිඇල්ල

රටට බලපෑ ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන් ම පාර්ලිමේන්තුවෙන් පිටත ද සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල...

‘‘රටට බලපෑ ව්‍යසනයෙන් වැඩිම හානියක් සිදුවුණේ මහනුවර දිස්ත්‍රික්කයට. මෙම ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් වෙනවා. ව්‍යසනයෙන් පසු ආණ්ඩුව රටට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේ දී යම් ප්‍රමාදයක් දකින්න ලැබෙනවා. මෙය රජයට සිදුකරන චෝදනාවක් නෙවෙයි. මේ පිළිබඳව රජය දැනුත් කරන්නයි සමගි ජන බලවේගය කටයුතු කරන්නේ.

ප්‍රකාශ කළ තරමට ආධාර ලැබී නැහැ

ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යසනයෙන් බලපෑමට ලක්වුණ පවුල් 55,804 ක් ඉන්නවා. මහනුවර දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම්කාර්යාලවලින් තමයි මෙම දත්ත සියල්ල ලබාගැනීමට කටයුතු කළේ. ආණ්ඩුව පොරොන්දු වූ පරිදි මෙම පවුල් සියල්ලටම රුපියල් 25,000 ක මුදල ලබාදෙන්න කටයුතු කළ යුතුයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 22,172 කට පමණයි එම වන්දි මුදල ලැබී තිබෙන්නේ. ඉතුරු පවුල්වලටත් වහාම එම දීමනාව ලබා දෙන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම නිවාසවලට අවශ්‍ය භාණ්ඩ ගැනීම රුපියල් 50,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. නමුත් අදවනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම නිවසකට එම දීමනාව ලබාදීලා නැහැ.  ඒ වගේම මියගිය පුද්ගලයකුට ලක්ෂයට මුදලක් ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඇතැම් අවස්ථාවල දී ලබාදී තිබෙන්නේ රුපියල් 50,000 යි. ඒ වගේම පාසල් දරුවන්ට රුපියල් 25,000 ක් ලබාදෙන බව කිව්වත් එම මුදල තවම ලබාදීලා නැහැ. කෙසේ නමුත් විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට රජය කටයුතු කළ යුතුයි.

නිවාස අහිමි අයට තාවකාලික කූඩාරම්

ඒ වගේම අනාථ කඳවුරු 95 ක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙනවා. එම කඳවුරුවල පවුල් 2084 ක් සිටිනවා. අනාථ කඳවුරු 6634 ක් ජනතාව ජිවත් වෙනවා. මෙම පිරිස් රඳවා තිබෙන්නේ ආගමික ස්ථානවලයි. කෙසේ නමුත් මෙම ජනතාවට කඳවුරුවලින් ඉවත්වන ලෙස දන්වා තිබෙනවා. නමුත් එම ජනතාවට යන්න තැනැක් නැහැ. ඒ ජනතාව ගේ නිවාස සම්පුර්ණයෙන් ම විනාශ වී ගොස් තිබෙනවා. නිවාස නැති ජනතාවට නිවාස ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන තෙක් තාවකාලික කුඩාරම් හෝ ලබාදීමට රජය කටයුතු කළ යුතුයි. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවශ්‍ය පිරිස ලබාදෙන්න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමස්ත කන්ද උඩරටට ම නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. නමුත් එවැනි තත්ත්වයක් මහනුවර දිස්ත්‍රික්කය තුළ නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ නිශ්චිත වශයෙන් ම නාය යෑමේ ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මම සොයා බැලුවා. නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලබාදීමට කටයුතු කළේ නැහැ. ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවශ්‍ය පිරිස මේ මොහොතේ නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහා අවශ්‍ය පිරිස ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රාජකාරී ආරම්භ කර තිබෙන්නේ මෙම ව්‍යසනයෙන් පසුයි. ඒ නිසා නිසි තොරතුරුක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලබාගැනීම අපහසුවී තිබෙනවා.

උඩවත්ත කැලය අවදානම් නැහැ

මහනුවර වැව රවුම, උඩවත්ත කැලය, අනියවත්ත, බහිරව කන්ද සහ හන්තාන යනාදි ස්ථාන පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවක් නැහැ.  නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සියලු ම වාර්තා අදාළ ස්ථානවලට ලබාදුන් බව පසුගිය කාලයේ ප්‍රකාශ කළා.  නමුත් නිශ්චිත වශයෙන්ම මහනුවර නාය යෑමේ අවදානමක් තිබෙන ප්‍රදේශ පිළිබඳව තවම දැනුම් දී නැති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.  මහනුවර දළදා මාළිගාවට පිටුපස තිබෙන උඩවත්ත කැලය අවදානම් නැති බවට වාර්තාවක් ලබාදී තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. නමුත් අනෙකුත් ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පර්යේෂණ කටයුතු සිදුකරන්නේ ව්‍යසයෙන් පසුව බවයි වාර්තා වෙන්නේ. මහනුවර සෑම ප්‍රදේශයක් ම නාය යන්නේ නැහැ. කෙසේ නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යය මණ්ඩලය වැඩි කොට ඉක්මනින් නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශවල තොරතුරු ගන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.  ඒ වගේම ව්‍යසනයෙන් විනාශ වුණ යටිතල පහසුකම් කඩිනමින් සකස් කරන්න මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. නාය යෑමට ලක්වුණ ප්‍රදේශ වහාම හඳුනාගන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. එවිට අවදානම් කලාපවල සිටින පිරිස් ඉවත් කර ගැනීමට හැකියාව තිබෙනවා. මුලු කන්ද උඩරටම නාය යන බව ප්‍රකාශ කිරීමෙන් ජනතාව දැඩි බියකට පත්ව සිටිනවා.

ජාත්‍යන්තර ආධාරක සමුළුවට පෙර විගණකාධිපති පත්කරන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පටු අරමුණක් ඇතිව කටයුතු කරන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු රට ගැන හිතලයි දේශපාලනය සිදුකරන්නේ. ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න පෙර රටට පිළිගත හැකි විගණකාධිපතිවරයෙක් පත්කළ යුතුයි. ජාත්‍යන්තරයට විශ්වසනිය පුද්ගලයෙක් විගණකාධිපතිලෙස පත්වුණොත් පමණයි ජාත්‍යන්තරය රටට මුදල් ලබාදෙන්නේ. නැතිනම් ජාත්‍යන්තරය රටට මුදල් ලබා දෙන්නේ නැහැ. එම පුද්ගලයා පිළිබඳව විපක්ෂයටත් විශ්වාසයක් ඇති විය යුතුයි. ජාත්‍යන්තරය උදව් කරන්නේ ලැබෙන මුදල් නිසියාකාරව භාවිතාවන බවට තහවුරු වුණොත් පමණයි. රජය එය තේරුම් ගත යුතුයි. ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල්වලින් වෙන වෙන කටයුතු කළාත් ආධාර ලැබෙන්නේ නැහැ. ඒ වගේම රටේ ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු මාර්ග සිතියමක් නැහැ. වර්තමාන රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නැති නිසා ලෝකයේ දක්ෂිණාංශික සහ වාමාංශික රටවල් ලංකාවේ රජය දෙස බලන්නෙත් සැකයෙන්. රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණොත් පමණයි ජාත්‍යන්තරය රටට උදව් ලබාදෙන්නේ. විශ්වසනිය විගණකාධිපතිවරයෙක් පත් කළොත් පමණයි රටට ආධාර ලැබෙන්නේ.

දූරකතනයෙන් ලෝක නායකයින් ඇමතිය හැකි අය ආණ්ඩුවේ නැහැ

ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමේ දී රජය පිළිබඳව විශ්වාසයක් ඔවුන්ට ඇති කළ යුතුයි. ලිපි ලියු පමණින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න හැකියාවක් නැහැ. මෙවැනි කටයුතු සිදුකිරීමේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන්නේ තිරය පිටුපස සිටයි. ලක්ෂ්මන් කදිරගාමර් විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස තිරය පිටුපස කළ වැඩ නිසයි සුනාමියෙන් පසු රටට විශාල ආධාර තොගයක් ලැබුණේ. එවැනි ශක්තියක් තිබෙන පිරිසක් වර්තමාන රජයේ නැහැ. දූරකතනයෙන් ලෝක නායකයන්ට කතා කරන්න පුළුවන් පිරිස් ආණ්ඩුවේ නැහැ. තිරණ පිටුපස වැඩකොටස නිවැරදිව සකස් නොවුණහොත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න අපහසුයි.

ආණ්ඩු පෙරළන්න අපිට වුවමනා නැහැ

රජයට ජනතාව ලබා දී තිබෙන වරම ඉටු කරන්න අපි කාලයක් ලබාදිය යුතුයි. අපිට ආණ්ඩු පෙරළන්න අවශ්‍ය වන්නේ නැහැ. ආණ්ඩුවට රට භාර දි තිබෙන්නේ කෙටි කාලයකටයි. රටේ සියලු ම දේවල් ආරක්ෂා කර ගන්න විශ්වාසයක් ඇතිව රජයට කෙටි කාලයකට වරමක් ජනතාව ලබාදිලා තිබෙනවා. ඒ සඳහා අකුල් හෙළන්න සමගි ජන බලවේගයට අවශ්‍ය වෙන්නේ නැහැ. රට නගා සිටුවන්න සේවයක් කළ නායකයන් රටේ සිටිනවා. රජය ඔවුන් ගෙන් උපදෙස් ගන්න. ඔවුන් සතුව විශාල සම්බන්ධතා රැසක් තිබෙනවා. ඒ සියලු ම දෙනා ගේ සහාය ලබාගන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න