තොරතුරු දැනගැනීමේ පනත තුළින් ජනමාධ්‍යයට අවශ්‍ය කරන නිදහස ලබාදීමට අවශ්‍ය නීති රීති සම්මත කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සුනාමි ව්‍යසනය සිහිපත් කිරීම සඳහා පැවති උත්සවයේ දී මාධ්‍ය අමතමිනි.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
''අද දවස විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් ඇති වූ දිනයක්. ඒ නිසාම තමයි අපි විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වලා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට අදහස් කළේ.
ජපානය නම් මුහුද අත්හරින්නෙ නෑ
ඇත්තවශයෙන් ම ඒ අවස්ථාවේ සිදු වුණේ ශ්‍රී ලංකාව ලබා ගන්නා දැනුම සහ තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ඒ හා සමාන විශාල මහා මිනිස් හානියක් සිදුවුණේ. ඒ වගේම මම දකිනවා සමහර අවස්ථාවල වැදගත් කරුණු කිව්වම නොතේරුම්කමට ඒවා විහිළු සහගත කරුණු බවට පත් කරනවා. උදාහරණයක් හැටියට සුනාමි ආවම ජපානයේ වගේ රටවල් මුහුද අතෑරලා යන්නෙ නෑ. ජපානයේ තිබෙනවා සුනාමියෙන් පසුව මුහුදේ වර්ග කිලෝමීටර් ගණනක් ගොඩ කරලා හදපු ගොඩනැගිලි. යම් ස්ථානයක සුනාමි රළ අඩි 10 ක් ඉස්සිලා තිබුණොත් අඩි 12 ක් 13 ක් උසට කොන්ක්‍රීට් කණු ඉදි කරලා, යට හිස්ව තබා ගනිමින් ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරනවා. ලෝකෙ ගොඩාක් දියුණු වෙලා.
අපි භූකම්පනයකින් ගැලවෙන්න දන්නෙත් නැහැ
අපි හිතමු ශ්‍රී ලංකාවේ භූ කම්පනයක් වුණා කියලා. අපේ මහජනතාව පොළොව සෙලවෙනකොට කළ යුතු දේ ගැන දැනුමක් තියනවා කියලා මම හිතන්නේ නැහැ. තමා ඉන්නෙ නිවසක නම්, සුදුසු ශක්තිමත් බීම් එකක් යට සිට ගැනීම, එහෙම නැතිනම් ගෙදරින් පිටවෙලා හිස් පිට්ටනියකට දිව යාම වගේ බොහෝ කරුණු කාරණා තිබෙනවා. නමුත් අපිට එවැනි දෙයක් සිදුවුණාම තමයි අපි පියවර ගන්නෙ. මේක තමයි ජාතිකයක් හැටියට අපේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය. අපි වැදගත් කරුණක් කිව්වම එයට අපහාස කරන්න, විහිළු කරන්න තමයි පුරුදු වෙලා තිබෙන්නෙ. මේක ජාතියේ අවාසනාවක් හැටියටයි මම දකින්නේ. කොහොම නමුත් එදා මිය ගිය දහස් සංඛ්‍යාත ජීවිත සියලු දෙනාට අපේ ආගම අනුව නැවත නැවතත් එවන් තත්වයකට මුහුණ නොදේවා කියලා අපි ප්‍රාර්තනා කරනවා.
මාධ්‍යයේ යුතුකම ජනතාව දැනුවත් කිරීම
ඒ වගේම අද දවසේ තවත් වැදගත් කාරණයක් මම මතක් කරන්න කැමතියි. අපිට පේනවා මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙනියනවා ජනමාධ්‍ය පාලනය කරන්නේ කෙසේද කියලා. ඉතින් අපි මතක තියාගන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් විපක්ෂයේ කටයුතු කරන කාලයේ මේ රටේ ජනමාධ්‍යයට අවශ්‍ය කරන නිදහස ලබාදීමට අවශ්‍ය නීති රීති සම්මතය සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. ඒ වගේම එතුමා තවත් වැදගත් දෙයක් කළා. ඒ තමයි තොරතුරු දැනගැනීමේ පනත ඇති කිරීම. ඒ පනතෙනුත් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සුරක්ෂිතභාවයට පත්වෙනවා. මොකද මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තිබේනම්, මාධ්‍යයේ යුතුකම තමයි තොරතුරු දැන ගැනීම සඳහා ශ්‍රී ලාංකික මහජනතාව දැනුවත් කිරීම. මනුෂ්‍යයන් උත්පත්තියෙන් කරන්නෙ වැරදි. ඒ වැරදි පෙන්වා දීමෙන් නිවැරදි කිරීමට කටයුතු කිරීමයි සිදුකළ යුත්තේ. එහෙම නැතුව ජනමාධ්‍ය බිය කිරීම, එයට විරුද්ධව ක්‍රියා කිරීම නොවෙයි. මාධ්‍ය ආයතනවලට තර්ජනය කරනවා නම් ඒක බරපතළ ඛේදවාචකයක්. ඒ ගැන අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා.''
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු මතු දැක්වේ
ප්‍රශ්නය:- සුනාමි ආපදා තත්ත්වයයි මේ වසරේ ආපු ආපදා තත්ත්වයයි අතර කොහොමද රටේ නැගිටීම ?
පිළිතුර:- ''ඇත්තවශයෙන්ම සුනාමි අවස්ථාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය සියලු දේශපාලන පක්ෂ හවුල් කරගෙන ප්‍රයෝජන ගනිමින් සියලු දෙනා ගේ දැනුම රට ගොඩනැගීම වෙනුවෙන් භාවිතා කිරීමට කටයුතු කළා. යම් යම් විවේචන තිබුණා. යම් යම් සාධනීය කරුණු ඉදිරිපත් වෙමින් තිබුණා. ඒ අනුව ඉදිරියට ගියා. මං හිතන්නෙ වර්තමානයේ රට ඉතාම කණගාටු දායක තැනකට තල්ලු වෙයි. ඒක තමන්ම පරීක්ෂා කරගෙන අවසන් කළ යුතුව තිබෙනවා. එතකොට තේරෙයි ලබන අවුරුද්දේ ජනවාරි අග වෙනකොට පෙබරවාරි අග වෙනකොට දැනුම නොගත් නිසා ශ්‍රී ලංකාව සිදුවෙන හානිය කොපමණ ද කියලා.''

