ඉදිරි පැය 36දී ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
උතුරු පළාතෙන් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අංශ සූදානම් කර තබා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පැවසුවේ මීට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කරන ලෙස මේ වන විටත් දන්වා ඇති බවය.
එළැඹෙන 29 වැනිදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත් ඒ අනුව සාමාන්‍ය තතත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක වැසි උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට ඇදහැලිය හැකි බවට ඔවුන් පෙන්වා දී ඇති බවත් සඳහන් කළ ඒ මහතා පැවසුවේ මේ අනුව සිදුවිය හැකි ආපදා සම්බන්දව අවධානය යොමු කරමින් ඉන් ආරක්ෂා වීම සඳහා මෙම පියවර ගන්නා බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා,
"කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති ආකාරයට තරංගාකාර සුළං ප්‍රවාහයක් නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවීම හේතුවෙන් මෙම මස 29 වැනි දින සිට වර්ෂාපතනය සාමාන්‍යට ඉහළ තත්ත්වයක් උතුරු ප්‍රදේශයටත්, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, සහ ඌව ප්‍රදේශවලට ඇද හැළිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කර පෙර පරිදිම ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට තියෙන හදිසි සැලැස්මට අනුව භට පිරිස්, ගුවන් යානා, නාවික භට කණ්ඩායම් බෝට්ටු සූදානම් කරන ලෙස දන්වා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා''

